01 .....
මදක් විවරවූ දෑස් නැවතත් නැවත නැවතත් වැසේ .යමක් කීමට උත්සහ කරන සෙයක් පෙනෙන නිසා මමද දෑස් දල්වා බලා සිටියෙමි...ඔහු මුමුනයි දෙතොල් වේගයෙන් ගැහෙයි...ගැසෙනා දෙතොල් අතරින් තවමත් ලේ බිඳු ගලා යයි..බලා සිටිනවා හැර කරන්නට වෙන යමක් මා සතුව නැත........
ඔහු විඳවයි .අසීමිතව විඳවයි.මරණය පෙනි පෙනී විඳවයි....
මල්ලි......ගැහෙනා දෙතොල් අතරින් වෙනුර අයියාගේ හඬ දෙසවන ගැටින...
කියන්න වෙනුර අයියේ මොකක්ද මේ කරගත්තේ.......
ම.....ල්...ලී උ...ඹ මට එ...හෙ...ම කලේ...නෑ ක්....කියලා මම ද...න්නවා...
අයියේ ටිකක් විවේක ගන්න...................
නැවතත් වෙනුර අයියාගේ දෑස් පියවිනි...
මා නිර්දෝශ යැයි පුල පුලා කීමට මට අවැසි නැත..................................
රෝහල් බිම නිහඬය නිස්කලංකය...විටින් විට සිහින් කෙඳිරියක් හැරුනු කොට අන් කිසිවක් නෑසේ.....
පාළුව හේතු කොට ගෙන හිත අතීතයට දිව යයි..එහි බොහෝ දෑ සොයයි........................................
02
මලිතී......මලිතී .......
මොකද මේ උදේම ......හොරා ....අම්මයි අප්පච්චියි යනකල් හොරා වගේ හිටියා නේද?...හ්ම් හොරා...
මලිති හුරතල්ය...එතරම්ය කෙලි ලොල්ය.....මේ මගේ මල ය.
ඔව් මම හොරා එතකොට මලිති කවුද? චෞර රැජිනද?
මම සිනාසී පිළිතුරු දීමි..........
යන්න අයියා යන්ට..එන්නෙපා මාත් එක්ක විහිලු කරන්න........ඊයේ කොහේද ගියේ......
මේ බොළඳ හඩ මා ජීවිතයේ බොහෝ කඩඉම් පසුකර යවා අවසන්ය....
මම මොනා හරි ගන්න ගියා මලිති....තව දවස් තුනයිනේ තියෙන්නේ..මම යන්ටෙපෑ....
අයියා ගියාම මං අමතක වෙයිද?
සුපුරුදු බොළඳ ගැහැනු පැනය මළිතිගෙන්ද විය..
නැහැ දරුවෝ එහෙම කවදාවත්ම වෙන්නෑ......මම දැන් මෙතන විනාඩි දහයකටත් වැඩියි යනවා තේ එකක් හදාගෙන එනවා.....
පිලෙහිවූ වික්‍රමසූරිය මාමාගේ හාන්සි පුටුවේ මා දිගා වීමි....
මලිති හැල්මේ කුස්සියට වැදින...........
මා මලිති හඳුනන්නේ කුඩා කල සිටය....හයක් හතරක් නොතේරෙන වයසේ සිට අපි හැදුනේ වැඩුනේද එකටය...ළමා කල බොහෝ සුන්දර විය
අයියා තේ බොන්ට......සීනිද ?....හකුරුද?..අප්පච්ච් ඊයෙ ගෙනාපු කිතුල් හකුරු වගයක් තිබුනා මම අරන් එන්නම්........
හ්ම්....ගේන්ට නගා.......
සූරි මාමයි අපේ නැන්දයි උදේම කොහේද නඟා ගියේ.......දෝනියැන්දට මඟුලක්වත් බලන්නද?
යන්ට අයියා යන්න...මගුලක් බලන්ට නෙමේ...බෑනා පොඩ්ඩට කලහලමනා ටිකක් අරන් එන්න යද්දි අරගෙන යන්ට....
මලිති සිනාසෙයි....සිනාසෙන විට වල ගැසෙන කම්මුල් දෙස මම බලා සිටිමි...
මොනාද බලන්නේ .....
හැඩ....
මලිතිගේ මුහුන රතු වෙන්නේ බලා ඉඳිද්දීමය.....
නඟා මට ගමේ එන්ට වෙන්නේ මාසෙකට සැරයයිනේ...නඟාට මාව අමතක වෙයිද මන්දා....
ඔව් ඹව්...අන්න අප්පච්චි කීවා අයියලෑ අප්පච්චි එක්ක කථා කරලා ලබන අවුරුද්දේ දිහාට මඟුලට දින දාගන්නවා කියලා....
හප්පේ මක්කැයි එච්චරම පරක්කු.....මා සිනාසීමී
මලිති නැවතත් ලැජාජාවෙන් රතු විනි.......
මලිති මම හැන්දෑවට පන්සලට යනවා අපේ හාමුදුරුවන්ට කියන්න කියලා මම යන විත්තිය.අප්පච්චිගෙන් අහලා නගාත් එන්න...අපේ නැන්දටත් එන්ට කියන්න....
---------------------------------------------------------------------------------------------------------------
03
පන්සල් බිම අරලියා මල් සුවඳය..එය හඳුන් කූරු සුවඳට මුසු වූ විට අමුතුම සිල් සිතක් ඉපදේ..සුදු වැලි ඉහිරුන පන්සල් බිමට මළ හිරු මොකක්දෝ නුහුරක් එක් කර තිබේ......නිහැඩියාව බිඳිමින් මලිති මා දෑතේ වෙලින
මං මේවෑන් දුරස් වෙනවා මලිති..මේ නිස්කලංක බව දුරස් කරන්න වෙයි ...ගොරහැඩි බවට හුරු වෙන්ට වෙයි
විටෙක මා අසීමිතව බොලඳ යැයි මට සිතේ .මුත් එය මේ ගැමි කමින් ලද දායාදයක් විය හැකිය...
දිගු නිහැඩියාවකින් පසු මලිති දොඩමළු විය...
අයියා ......
හ්ම්.....කියන්න මලිති.....
අයියා යන්නේ රස්සාවටනේ ...අපේ අනාගතය වෙනුවෙන්.... දුක් වෙන්ටේ කියලා එහෙමම කාරනයක් නැහැනේ...
මලිති සතුටුද මම යනවට....
ඔන්න ඉතින් අයියා........
නපුරා....
මලිති සෙමෙන් මා අතට පහරක් ගැසීය.....
අන්න අයියා අප්පච්චිත් එක්ක අපේ හාමුදුරුවොත් වඩිනවා..යන්ට හාමුදුරුවෝ එක්ක කතා
කරලා එන්ට....මං යන්නං අයියා අම්මලා මල් සූදානම් කරන දිහෑට
____________________________________________________________
අපේ හාමුදුරුවනේ.......මා වැඳ අවසර ගතිමි
ඹ්න් මම අපේ වෙනුර මහත්තයාටත් කතා කලා බණ්ඩාරට ඉන්ට තැනක් ලකලෑස්ති කරන්න කියන්න...වෙනුර මහත්තයා මගේ හොඳ හිතවතා මම දෙයක් කීවෙත් ඉතින් අහක දානවා බොරු..
වෙනුර මහත්තෑලෑ අප්පොච්චා ඉන්න කාලේ ඉඳලම මම දන්නාදුනනවා...රජරට මිනිස්සු නොවෑ දැන් ඹය කොළඹ රටේ පදිංචි වෙලා හිටියට
සිරි ධම්ම හිමියෝ හැල්මේ දෙඩයි....මේ සුපුන්වත් හඩ අසන්නට නැවත මසකට වරක් පෙරුම් පුරන්නට සිදුවෙයි
අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේ කොළඹ දිහා වැඩියොත් අපේ දිහා එන්ට අමතක කරන්නෙපා...
සිරි ධම්ම හිමියන් හිනාවෙන් මුව සරසා ගති...
එන්ට පිරිත් නූලක් බඳින්ට ..කෝ අපේ උපාසක අම්මලත් හිටියනම්....
එම ඉල්ලිමට අවනතව අම්මලාද මලිතිද මට එක්විය...
බවතුසබ්බ මංගලම් හඩින් පන්සල් බිම පිරි ගොසිනි..............................
_________________________________________________________________
04
හැරදාමා යා නොයුතු උවද හෙටක් උදෙසා මා මේ ගමන යා යුතුය..මලිතිගේ දෙනෙතේ පොපියන කඳුලු බිම වැටිය යුතු මොහොත මෙය නොවිය යුතුය...
අඬන්නෙපා මැණික.......මං පුලුවන් හැම වෙලාවකම ලියන්නම් ...බලන්න එන්නම්...
මලිතිගේ රතු වූ කම්මුල් සිප ගතයුතු උවත් එය ඉවසා ගතිමි.....
දැන් බස් එකට වෙලාව හරි දරුවෝ......අප්පච්චිගේ හඩින් යලිත් මා පියවි ලොවට පිවිසුනෙමි.....
අප්පච්ච්ගේ දෙපතුල නැමඳීමි ඹහුට නොදැනෙන්නට නලලත රළු දෙපා වල ස්පර්ශ කලෙමි....රත්නත්තරයේ පිහිටයි ..අයියනායක දෙයියෝ මගේ දරුවා රැකගන්ට ඹේනේ...එම වදන් පිටවන තෙක් මා වැඳ සිටියා විය යුතුය...
මව් දෙපා නැමැද ගෙයින් පිට වෙද්දී සුදෝ සුදු ඉද්ද මලින් හැඩවුනු දිය බඳුනක්ද ගෙන මලිති මා අසලය.....
මයේ අයියට තුරුනුවනේ සරණයි.....එම හඬ වෙවුලන සුලුය....මලිති දිය බඳුන පසෙක තබා මා දෙපය ලඟ දනවැටුනි.....පාවහන් වල රළු බව මකා සුමුදු නලලතේ පහස මා දෙපයට දැනින..
දෙ අත් උරහිසට තබා මා මලිති එසවීය.....
දෙනෙතේ මෝදු වූ කඳුලු දෙකම්මුල් හරහා රූටමින් තිබිනි....
මා මලිතිගේ දෙකම්මුල් මත දෑත තබා කඳුලු පිසලීමි......
යමු මලිති සූරි මාමත් බලන් නේද? නැන්දටන් කියන්ට යමු.......
අමිමාද පෙරටුකොට ඉපැනැල්ල පමනක් ඉතිරිවූ කුඹුරු දෙස බලමින් සෙමෙන් සූරි මාමාගේ නිවසට ගොඩ උනෙමි......
මම යන්ටේ කියලා මාමේ....
හ්ම් හොඳමයි දරුවෝ දළදා හාමුදුරුවොම පිහිටයි....දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න කන්දේ මිනිස්සුන්ට වරදින්නෑ ....තමනුත් පරිස්සම් වෙලා මේ දැරිවිගේ අවාගතේත් රැකගෙන පරිස්සමට මේ පලාතට පත්වීමක් ඉක්මනට හදාගෙන එන්ට බලන්න
දැන් මයේ හිතේ බස් එකට වෙලාව හරි...මයියංගනේ ඉඳලා එන නිසා සෙනඟත් ඉඳීවි ඉක්මන් කරලා ගියා නම්.....
අප්පච්චි මාත් නැන්දා එක්ක ගිහින් අයියා බස් එකට ගොඩවෙනකල් ඉඳලා එන්නම්
කුඩා දරුවෙකු කැමතිම යමක් ඉල්ලා පෙරැත්ත කරන්නාක් මෙන් ඉල්ලීය....
හ්ම්.....ඉක්මනට එන්ට.....
ගාම්බිර පිරිමියෙකු සතු සියලු ගුණාංග සූරි මාමාට නොඅඩුව තිබුනි..............................
______________________________________________________________________
05
මයියංගනයෙන් ගමනාරම්භ කරතිබූ බස් රථය උඩු දුම්බරට එන විටද තරමක සෙනඟක් විනි....ප්‍රථම ප්‍රේමය ......දෙමාපියන් හිත මිතුරන් දුරස්වනු දැනෙන විට හද ඊටත් පිරී තිබෙන බවක් හැඟුණි.........
මලිති මං යන්නම්......
හ්ම්
මලිතිගේ දෑත මා දෑතේ තරයේ තෙරපිනි......
සීතලයි මලිති......
මං බය වෙලා අයියේ........
මා මලිතිගෙන් මිඳී බසයට ගොඩවී බොහෝ වේලා යනතුරු නුපුරුදු සීතල මා සමඟ විනි...මුත් හිත මලිති සමඟ ගොස්ය.....
_____________________________________________________________________
කාර්‍යාල බිම බොහෝ කාර්‍යබහුලය .දැඩි කලබලකාරී බවක් දිස් වෙයි....පිවිසුම් දොරටුවේ සිටි පිළිගැනීමේ නිළදාරිනිය වෙත මා අත වූ ලිපිය දිගුකලෙමි....
කිසිත් නොකියාම ඉදිරිපස වූ කාමරය පෙන්වූ ඇය,ඊට ඇතුල් වෙන ලෙස විදාන කල හෙයින් මා ඊට ඇතුල් වීමි.
එතුල බොහෝ ගාම්භීර අයෙකු විය. එතරම් සුදු නොවූ ඔහු බොහෝ කලු නොවේයයිද මට සිතුනි.
ඔහු ඇසින් දුන් නියෝගය පිලිගත් මා අසල වූ පුටුවේ ඉඳගතිමි..ඔහු බොහෝ කාර්‍ය බහුල බවක් දිස්විනි..මා අත වූ ලියුම ඔහුට දුන් මා පිලිතුරක් අපෙක්ශාවෙන් ඔහු දෙස බලා සිටිමි..
"සර් මම අරවින්ද...අරවින්ද බන්ඩාර"
ඔහු කිසිවක් පැවසුවේ නැත.මදක් හිස ඔසවා බැලුවා පමනි
හ්ම්...අරවින්ද...නුවර පලාතේ නේද?
එම හඩතුල බොහෝ ප්‍රශ්න විය
ඹව් සර්...නුවර ....නුවර නුවර උඩුදුම්බර.....
අරවින්ද රාජ්‍ය සේවය කියන්නේ අපිට සැනසෙන්නවත් කාවහරිසනසන්න හරි පුලුවන් දෙයක් නෙමෙයි...ඹ්නැම අභියෝගයකට මූන දීලා නොසැලී ඉන්න එකට...අපි මේක කරන්න ඹ්නේ දැලි පිහියෙන් පැණි කනවා වගේ.....
ඹව් සර්....
මා හූ මිටි තැබුවා පමනි...
අරවින්ද නවතින්න තැනක් ලෑස්ති කරගන්නකල් මට පුලුවන් අපේ ගෙදර සූදානම් කරලා දෙන්න...අපේ හාමුදුරුවන්ගේ වචනයක් මට අහක දාන්නත් බැහැනේ........
එතකොට සර්ද වෙනුර නානායක්කාරවසම්.....
හ්ම් ...ඹව්....ඹහුගේ වදන් තුල සිනහවක්ද විය....
අපේ හාමුදුරුවෝ මට නිතරම සර් ගැන කියලා තියනවා....
හ්ම්...මමත් අපේ අප්පච්ච්ගේ කාලයේ ඉඳලම උන්වහන්සේව දන්නවා.....
අයතනික කාර්ය පටිපාටිය ගැන අරවින්දට වැටහීමක් ලැබෙනකල් ප්‍රවේසමෙන්........
එය විධානයක්දැයි ඉල්ලීමක්දැයි මට පැහැදිලිව දැනුනේ නැත....
යන්න අරවින්ද මගේ ඩ්‍රයිවර් එක්ක යන්න හෙටනේ වැඩ භාරගන්න තියෙන්නේ.....මම කාමරයක් සූදානම් කරලා තියෙන්නේ....සුමනපාල අරවින්දට පෙන්නයි........
දුරකථනය ක්‍රියාත්මක කල ඔහු යමෙකුට පැමිනෙන්නැයි කීය.......
සුමනදාස මේ අරවින්ද මහත්තයා......නිලූශි නෝනගෙන් යතුර ඉල්ලගෙන අරවින්ද මහත්තයාට එලියේ කාමරේ පෙන්නන්න......සුමනදාස ඊයේ සූදානම් කරා නේද .......
ඹව් අපේ මහත්තයෝ......එම හඬ ඹ්නෑවට වඩා යාබදුයැයි සිතින.....
යන්න අරවින්ද.....යන්න අපි රෑට කතතා කරමු......
සුමනදාස යනගමන් අරවින්ද මහත්තයාට දවල් කෑම අරගෙන යන්න....මම හිතන්නේ නිලූශි නෝනා එලියට යන නිසා අද උයන එකක් නැහැ.....
හොඳමයි අපේ මහත්තයෝ..........
06
කාණ්ඩ කිහිපයකින් පැරනි උවද මර්සිඩීස් බෙන්ස් රථය ඉතා සුව පහසු විය......පලාත් සභාවට ගිය එක් වරෙක අප්පච්චිගේ හිතවත් අයෙකුගේ මෝටරිටකින් ගිය පසු මෙවන් සුවපහසු රියක මින් පෙර මා ගොස් නැත.....
මහත්තයා මොන පලාතෙද.........?
මං නුවර මාමේ.....
මාමේ.....මට දෝනියැන්දලා නැහැ....ඔහු මහ හඬින් සිනාසුනි.....
මක්කැයි හිනාවෙන්නේ...........
නෑ නෑ මහත්තයෝ ඹය ගති ගුණ තියන මිනිස්සු අද අඩුයි.....
අපේ මහත්තයාගේ නම මොකක්ද?
වෙනුර නානායක්කාර නේද?
නැවතත් ඹහු හිනාවකය..
මම අපේ මහත්තයා කීවේ ඔය මහත්තයට....
මාමේ....... මහත්තයා කියන්න එපා...මම අරවින්ද....
නෑ මහත්තෑන්ලා උගත් රාජ්‍ය සේවකයෝ....
රාජ්‍ය සේවකයෝ හැමෝම මහත්තරුද මාමේ.......
ඹහු නැවතත් සිනාසෙයි....සිනාසෙනවිට බුලක් කා අව පැහැ වූ දත් දෙපල මනාව පෙනෙයි......
මාමා මොන පලාතෙද.....
මං හම්බන්තොට ...රැකව පලාතේ තංගල්ල කිටිටුවනේ මහත්තයෝ.......
දකුනේ මිනිස්සු....මම අහලා තියනවා පහත රට මිනිස්සු මහ නපුරුයි කියලා....විශේෂයෙන් දකුනේ මිනිස්සු....
නැහැ මහත්තයෝ නපුරු නැහැ කපටියි....
ඹහු නැවතත් මහ හඩින් සිනාසෙයි.......
ඹ්න් ගෙදරට සැපත් වුනා......
කියනා සැම වචනයක් පාසා ඔහු සිනිසෙයි..
07
සුවිසල් නිවසක ගේට්ටුව ස්ව්‍යංක්‍රීයව විවර විය.....
නිවස ඉදිරියේ තරමක් නොසන්සුන් ඉරියව්වකින් යුතු යුවතියකි........
අදනම් මම ඉවරයි මහත්තයෝ......
මක්කැයි උනේ.....
මේ අපේ වෙනුර මහත්තයගේ නෝනා...නිලූශි මැඩම්...යකෙක් මහත්තයෝ මේ නම් ගෑනියෙක් නෙමෙයි....
සුමනපාල මාමාගේ සිනහව ගිය අතක් නැත.....එම මුහුන දුටු මට සිනහා නැගිනි....
ම්.....මැඩම්......අපේ මහත්තයා කිව්වා යතුර ඉල්ලගෙන මේ මහත්තෑන්ට කාමරේ පෙන්නන්න කියලා..යම්න් ගමන් කෑමත් අරන් යන්න කිව්වා...එනිසයි ප්‍රමාද වුනේ.....මගේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි ඔන්න....
මම දැන් ඇහුවද සුමනදාසගෙන් පරක්කු වෙච්ච හේතුව....
මා සිර කරගෙන සිටි සිනහව පිටතට පැමිනියේ එම මොහොතේදීය.....
පිස්සු මනුස්සයා.....
එසේ කියමින් ඇය තම අතෙහි වූ යතුර සුමනදාස මාමා අත තැබීය...
සුමනදාස මම රුක්ෂිත් එක්ක එලියට යනවා වෙනුර මහත්තයට කියන්න මම ඉක්මනට එනවා කියලා....
එසේ කියමින් ඇය පැමිනි මෝටර් රථයට ගොඩවූයේ මටද මද සිනහවකින් සංග්‍රහ කරමිනි...
කවුද දන්නේ ඹය මනුස්සයා වෙන එකෙක් එනකල් ඉන්න විත්තිය....
මා තවමත් සිනහව සමඟය....
එන්න මහත්තයෝ කාමරේ පෙන්නන්න.....මොන දේ උනත් අද වහීවිද මන්දා ඔය මනුස්සයා මට අද තමයි වචනයක්වත් නොකියා හිටියේ.....
මා නැවතත් සිනාවීය......
08
කාමරය ඉතා සුවපහසුව සකසා තිබිනි.....ගෙදර අප්පච්චී සමඟ පිලේ සීතල සුළං සමඟ නිදනවා තරම පහසු නොවනු ඇතැයි සිතින....
මේ මහත්තයෝ නාන කාමරේ ඇවිත් නා කියා ගත්තනම්......අහවර වෙලා මේන් මේ කෑම එක කන්න....ඉන්පස්සේ ටිකක් විවේකගත්තනම්....ගමන් මහන්සියත් ඇතිනේ....මේන් මේ ෆෝන් එකේ මේ අංකේ එබුවානම් මම මේන් මෙතන ඇති....
_______________________________________
අරවින්ද මහත්තයෝ...අරවින්ද මහත්තයෝ......
බොහෝ වේලා නින්ද ගොස් තිබිනි..සුමනදාස මා හට කථා නොකලානම් තවත් බොහෝ වේලා නිදාගැනීමට තිබිනි....
කියන්න සුමනදාස......
අපේ මහත්තයා අරවින්ද මහත්තයාට රෑ කෑමට එන්නෑ කීවා...
හ්ම්...මට.....
ඔව් මහත්තයෝ....මහත්තයා මෙහෙට අළුත් නොවැ....අපේ මහත්තයා එනිසා වෙන්නෑති එන්න කියන්න කීවේ....හෙට ඉඳලා මම මේ කාමරේට කෑම අරන් එන්නංකෝ.......දැන් එන්න යන්න මූන පොඩ්ඩක් හෝදගෙන කාරිය
ඉන්ට මාමේ....මාත් මාමා එක්කම විගහෙන් එන්නම්...
හොඳයි හොඳයි......ඉක්මන් කලා නම් අපේ මහත්තයා බලාගෙන ඉන්නවා කෑම ගන්න මයෙ හිතේ.....
හොඳමයි යමු යමු
09
මා වෙනුර මහතාගේ නිවසට යද්දීත් මහු ඔහුගේ බිරිඳ සමඟ රාත්‍රී අහරට සූදානම් වී සිටියහ...
එන්න අරවින්ද.....
එම පිළිගැනීම තුල සුහද බව ඹ්නෑවටත් වඩා විය....
මා සෙමෙන් සුවිසල් කෑම කාමරයට පිවිසුනෙමි...
අරවින්ද එන්න වාඩි වෙන්න.....
මා යාබඳු වැඩිදැයි විටක මට සිතේ......
මහත් ආයාසයකින් මා කෑම මේසයට හිඳ ගතිමි....
අරවින්ද මේ මගේ වයිෆ් නිලූශි.......නිලූ මේ අරවින්ද අපේ නුවර හාමුදුරුවන්ගේ ගෝලයෙක්.......
ඈය සිනාසුනා පමනකි......
එන්න කමු අරවින්ද.....දැන් දහයත් පහු වෙලා....
සැබවින්ම හැඳි ගෑරුප්පු මා දෑතට හුරු නැත....මද ලැජ්ජාවක්ද විය....බඬගින්නට වඩා ලැජ්ජාව දළු දමනවාදෝයි විටෙක මට සිතින....
මිස්ට අරවින්දගේ මේ පළවෙනි පත්වීමද?
මා අන්ද මන්ද විමි......
ඔඔඔඔව් මැඩම් පළමු පත්වීම
මා කිසිවිටකත් වෙනුර මහතාගේ බිරිඳ මා අමතනු යැයි සිතුවේ නැත.......
මැඩම්.....මමද? ඇය විමසුවේ මා තවත් ලැජ්ජාවට පත් කරමිනි....වෙනුර මහතාද ඊට අනුබල දෙමින් සිනාසීය.
මා නිහඬව ඔවුන් දෙස බැලීමි.....
මම නිලූශි .............ඇය නැවතත් සිනාසෙයි.......
අරවින්ද රාජ්‍ය සේවය කියන්නේ මහ අමාරු අපහසු කාර්‍යයකට....
මා පත්ව තිබෙන අපහසුතාවය වටහාගත් නිසාදෝ වෙනුර මහතා කථාව වෙනතකට යොමුකරවීය....
ඇයි සර් එහෙම කියන්නේ......මාද ඔහුගෙන් විමසූයේ වෙනුර මහතාගේ බිරිඳගේ ප්‍රශ්නයෙන් ගැලවීමටය....
අපිට කවදාවත් සැනසෙන්න පුලුවන් දෙයක් නෙමෙයි අරවින්ද මේක...අපිට තියන කාර්‍ය තමයි ලොකු පුටු සනසන එක...ඔහු පවසන්නේ මහත් කලකිරුන ස්වාභාවයෙනි....
වෙනුර මම හිතන්නේ මිස්ට අරවින්දට අදම ජොබ් එක එපා කරවනවා...
මා වෙනුර මහතාගේ බිරිඳ ගැන සිතා සිටියේ සුමනදාස කියු අයුරේ ඉතා ගොරහැඩි නපුරු ගැහැනියක කියාය....නමුත් ඇය සුහදය....මිත්‍රශීලීය...
මා ඇය දෙස බලා මද සිනහවක් හෙලීය....
වෙනුර මහතාගේ පෙනුමේ සහ රැකියා පලපුරුද්ද අනුව වයස අවුරුදු හතලිය ඉක්මවිය යුතුය...මුත් ඔහුගේ බිරිඳ කෙරෙන් අවුරුදු විසි හයකට හෝ හතකට වැඩි පෙනුමක් පෙනෙන්නට නැත...
අරවින්දට හෙට මගෙත් එක්කම ඔෆීස් යන්න පුලුවන් නමුත් හැමඳාම අපහසුයි....මොකද මම උදේ හුඟ වෙලාවට නැහැ ..අරවින්දට පුලුවන් මෙතනින් බස් එකක් ගන්න....
හොඳමයි සර්......
සර් මේ කරපු උදව්ව හොඳටම මැදෑ....අපේ හාමුදුරුවන්ටත් පින් සිද්ද වෙන්ට ඹ්නෑ මෙහෙම තැනක් සූදානම් කරලා දුන්නට.....
හ්ම්.......වෙනුර මහතා වෙන කිසිවක් කීවේ නැත....
වෙනුර මහතාගේ බිරිඳ අපහසුවෙන් සිනාසෙන බවක් දැනිනි....මා වැරදි දෙයක් කීවාදෝ යැයැ සිතිනි........
ම්ස්ට අරවින්ද කොහේද ඉස්කෝලේ ගියේ ......
මම ගමේ ඉස්කෝලෙටම තමා මැඩම් ගියේ.....උඩුදුමුබර මහා විද්‍යාලයට...
ඇය බලන්නේ තරමක අවඥා සහගතවදැයැ විටක සිතේ
මොනාද උසස් පෙලට කලේ මිස්ට අරවින්ද?
ඇය මා අපහසුතාවයට පත්කිරීමට සුදානම් වනවා විය යුතුය
විද්‍යා විශයන් තමා කලේ......උසස් පෙළ කරන්ට නුවර තමා ඉස්කෝලේ ගියේ.......
ඔහ් සයන්ස් කලේ.......ඇය විමසුවේ තරමක පුදුමයෙනි.....ඉතින් මොකද උනේ.....
උසස් පෙළ සමත් උනා නමුත් වැඩිදුර ඉගනගන්ටේ කියලා පුලුවන් කමක් තිබුනේ නැහැ.....
අපරාදෙනේ......ඇයි .......?
අපේ අම්මලා අප්පච්චිලා හේන් ගොවිතැන් නේ කරන්නේ .....මහ පොළවත් එක්ක ඔට්ටු වෙන්න අමාරුයි අපේ අප්පච්චිට....එහෙව් එකේ මට බරක් වෙන්ට පුලුවනෑ ....මේ වෙනකල් කරපු හරිය මැදෑ.......
නිහඬය.....
ටික වේලාවකට පසු යලිත් ඇය දොඩමලු විය....
සොරි මිස්ට අරවින්ද.........
මා නැවතත් අන්ද මන්ද විය...ඇය සමාව ගත්තේ කුමකටදැයි මට වැටහුනේ නැත....ඇගේ වදන් තුල මහා අනුකම්පාවක් ගැබ්ව තිබිනි.....
අරවින්ද කාලා ඉන්න .....කෝ මේ නිලූගේ ප්‍රශ්න පත්තරේ තාම ඉවර නැද්ද?
වෙනුර මහතා එසේ කීවේ තරමක සිනෙවක්ද සමඟ ඔහුගේ බිරිඳගේ උරහිස වෙත නැඹුරු වෙමිනි......
එක්වරම මා සිහියට නැගුනේ මලිතිය....කටට ගත් බත් කට සිරවුනු සෙයක් දිස් විනි......
අපහසුවෙන් අතට ගත් වතුර වීදුරුව එක හැල්මට බීගෙන බීගෙන ගියෙමි....
වෙනුර මහතා සහ බිරිඳ පුදුමයෙන් මදෙස බලා සිටිනු දක්නට ලැබ්නි.....
අප්පච්චිලා මතක් උනා.......මා කීමටත් මත්තෙන් එය මට කියවිනි........
10
හැම රැයක් පසු පසම නවමු උදෑසනක් ' තිබේ හිත කලඹන සිහින ඇති මුත් උදෑසන සහ සුද්ද නිසා මා එහෙව් උදෑසන එන තෙක් බලා සිටිමි....මලිති හැරුනු කොට වෙනත් උදෑසනක් මට කොහිද?
මුලු හිතම තලා පොඩි කල සෙයක් දැනේ....හිතේ සියලු තැන් හි මලිති කෙලි දෙලෙන් සරයි..සිත නතුකර ගන්නටම බැරිය...ගං ඉමේ ඉවුරු හරහා හමනා සුළඟටත් වැඩි වේගෙන් සිත මලිති සොයා නික්මෙයි....මා සීරුවට ඉකි බිඳීමි...
නෑ මං අඬන්න ඹ්නේ නැහැ...මලිතිට උහුලන්න පුලුවන්නම්මට බැරි මොකදැ...
කෙසේ සිතුවත් හිත මලිති ලඟමය....මලිතිද දැන් අනෝරාවක් මෙන් අඬනවා ඇත....ඉකිබිඳිනවා ඇත....හෝස් ගා පපුව දැවී යයි....
අප්පච්චී සුපුරුදු ලෙස මදුරුවෝ තලමින් පිලේ නිදා ගන්නවා විය හැකිය....සුපුරුදු ලෙස ඇස හැර පුතේ ගෙට පලයන් මදුරුවෝ අද එමටැයි කියනවා ඇත....ගුවන් විදුලි සේවයේ රෑ පිරිත් අසා නින්දට යන අම්මා අදත් මා නොසිටියත් මයෙ පුතේ තෙරුවන් සරනයි කියා නින්දට යනවා ඇත....මුත් කිසිවෙකුගේත් නෙත් අහලකවත් නින්ද නොඑනවා ඇත...
___________________________________________________
අහලකවත් නින්ද නොවුනු දිගු රැය නිමා විය...දැන් නව රැකියාවට යාමට සූදානම් විය යුතුය.....
වතුර මලේ දිය නුහුරුය...පීල්ලේ සිහිල ලඟ පාතකවත් තිබුනේ නැත....
මා කාමරයේ දොර වසා වෙනුර මහතා පෙන්වූ බස් නැවතුම් පොළට යෑමට පියවර තැබීමි...
මිදුලේ කොනක උඩ වැඩියා මල් පඳුරක් අසල වෙනුර මහතාගේ බිරිඳ විය....
මා ඇය නොදැක්කා සේ පියවර නැගූවත් ඇය ඊට ඉඩක් දුන්නේ නැත...
ගුඩ් මෝර්නිං මිස්ට අරවින්ද
ගුඩ් මෝර්නිං මැඩම්..
මැඩම්......අරවින්ද මටද කිව්වේ...
ඇය සිනා සෙයි....නැවතත් නැවත නැවතත් සිනාසෙයි...
මම නිලූශි....නිලූශි ....නිලූශි....
ඇය බොහෝ දඟකාර ලෙස සිනාසෙයි.....
මම යන්ටේ කියලා.....
හ්ම් ඔන්න ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම මුලින්ම විෂ් කරනවා...
ස්තූතියි මැඩම්.....න්..න්..නෑ...න්..න්..ලූ..ශි
මම ගිහින් එන්නම්....
හොඳයි අරවින්ද......
නිතරම මිස්ට අරවින්දැයි මා ඇමතූ ඇය නොදැනුවත්වම එය ඉවත්කර අරවින්ද පමනක් ඉතිරි කර තිබිනි.....
මා හනි හනිකට පියවර තබා නික්මුනි.......
අරවින්ද ....අරවින්ද......
මා ගල් ගැසුනාක් මෙන් නැවතිනි....
මා ඇයි කියන්නාක් මෙන් ඇය දෙස බැලීමි....
අරවින්ද ඔය ශර්ට් එකේ අත් දෙක නමලා ඇන්ඳානම් ඔයාට හුඟාක් ලස්සනයි...
මා සිනාසී බස් නැවතුම කරා පියවර තැබුවෙමි.......
11
කාර්‍යාල බිම නිස්කලංකය වෙනදා තිබූ කාර්‍යබහුලත්වය උදේම නිසාදෝ පැවතුනේ නැත...
මා කාර්‍යාලයට ඇතුල්වන්නට හදද්දීම පිලිගැනීමේ නිලදාරිනිය මා වැලැක්වීය....
ගුඩ් මෝර්නිං සර්
ඔය මහත්තයා කාව හම්බ වෙන්නද?
මගේ මේසේ හොයාගන්ට කියලා.....
එසේ කියමින් මා තරමක සිනහවකින් ඇයට සංග්‍රහ කලෙමි...
මම් ම්.....මොකක්....
මා මා අතවූ සේවයට වාර්ථා කිරීමේ ලිපිය ඇය වෙතට පෑවෙමි....
ඇය උවමනාවකින් තොරව එය අතට ගෙන දිගහැර බැලීය...
ඔ....ඔ......අරවින්ද බණ්ඩාර.....ස්...ස්..සර් යන්න ඇතුලට...ඇය බියවූ සෙයකි....
ඇයි මිස් බය වෙලා වගේ.....
නෑ මිස්ට බණ්ඩාර ඊයෙන් එනවා මම දැක්කා ....මම හිතුවේ වෙන වැඩකට එනවා කියලා...ම්ස්ට වෙනුරත් නැති නිසා මම මෙතන වාඩිවෙන්න කියන්න හැදුවේයි කියමින් ඇය නෙතින් ඉදිරිපස අසුන පෙන්වීය..
මා සිනාසී කාර්‍යාලය තුලට ඇතුල්වී මට අදාල ස්ථානය සොයා ගතිමි....
12
රැකියාව පහසු යැයි සිතින.පළමු දිනය නිසා එසේ සිතුනා වන්නටද පුලුවන...එසේත් නොමැතිනම් හේනු කුඹුරු හා හරි හරියට ඔට්ටු වුනු දෑතට නියම හිමිකාරීත්වය ලැබුනු නිසා එසේ සිතුනා වන්නටද පුළුවන...
කාර්‍යාලයේ සියල්ලන්ම සුහදය...එතරම්ම ලෙන්ගතු බවක් පෙනිනි...සියල්ල මා ඇමතූයේ මිස්ට බණ්ඩාර නමිනි..ජීවිතයේ පළමු වරට මා ගෞරවාන්විත අයෙකැයි මට සිතිනි...මා මා ගැනම සතුටු උනෙමි.....
කැත්ත උදැල්ල හුරු දෑත පෑන් තුඩු හමුවේ උද්දාමයට පත්ව ඇත....දිවා විවේකයේ මලිතිට ලියන්නට ඹ්නෑයැයි සිතින.............ලියන්නට දෑ එමටය.....එය ලැබුනු වහා මලිති උද්දාමයට පත්වන අයුරු මට මැවි මැවී පෙනේ....
දයාබර මලිතියි පටන් ගෙන මා බොහෝ දෑ ලිවීමි...හුදෙක්ම එය සාම්ප්‍රධායික පෙම් හසුනක්ම නොවන බව දෙවන හා තුන්වන වර කියවීමේදී මටම පැහැදිලි විය...අප අපිරිමිතව පෙම් සුව විඳ තිබේ..වෙල් ඉපනැල්ල..ගං ඉවුර ඊය ශාක්ෂි දරනවා ඇත...එම අතීත සිද්ධි එකින් එක මතක් කර මා නැති අඩුව පෙන්වා මලිති අඬවන්නට තරම් මා කුහක නොවීම ගැන මම මා ගැනම සතුටු උනෙමි.....
මිස්ට බණ්ඩාර.....කොහොමද?
මම හොඳින් ඔය මහත්තයා කවුද? මා ඇසුවේ තරමක විමතියෙනි...
මම කුමාර රත්නම්...මඩකලපුවේ තමා මමත් මේ ලඟදි පත්වීම අරගත්තේ
මිස්ට බණ්ඩාර නුවර පලාතේ නේද?
ඔව් මහත්තයා මම නුවර...නුවර පලාත දන්නවැයි..
අප්පේ නෑ ..කොයි අවුරුදු ගනනාවක් යනකල් අපිය එන්න දුන්නෑනේ මේ පලාත් වලට..
ඔහු සිනාසෙයි...ඔහු කථාකරන අයුරින් කිසිවෙකු ඔහු ද්‍රවිඩ අයෙකුයැයි කිසිවිට නොසිතනු ඇත...
මිස්ට බණ්ඩාර මොන අවුරුද්දේද?
උපන් අවුරුද්දද මහත්තයා අහන්නේ...
හ්ම්...ඔව්..
මම අසූ හතරේ මහත්තයා... මහත්තයා....?
මොනවා..මමත් 1984 අපි එහෙනම් එකම අවුරුද්දේ.......
මට දකිද්දිම නිකමට එහෙම හිතුනා....
බණ්ඩාර මට කුමාර් කීවාම හොඳටම ප්‍රමාණවත්...අනවශය විශේෂන පද අවශ්ය නැහැ.....
ඔහු කතා කරන්නේ මහ හඩින් හිනහෙමිනි...
අප බොහෝ වේලාවක් සුහද පිළිසඳරේ යෙදින.......
බණ්ඩාර කොහේද නැවතිලා ඉන්නේ....
වෙනුර මහත්තයාලගේ ගෙදර...
ඔහ්...අපේ උප දිසාපති හාමුදුරුවන්ගේ ගෙදර.....නියම මනුස්සයා ...අපරාදේ කියන්න බැහැ මනුස්ස කම කියන දේ පිරිච්ච මිනිහෙක්....නිල තල තියනවා කියලා ඔළුව උදුම්මවා ගත්තු කෙනෙක් නෙමෙයි ඔය වෙනුර මහත්තයා...
හ්ම්...මමත් එහෙම හිතනවා...
පව් මම හිතන්නේ මිනිහට දරුවෝ නැහැ..මම හිතන්නේ දැන් බැඳලා අවුරුදු පහටත් වැඩියි කිට්ටුයි...හිත හොඳ කරුනාවන්ත මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා...අපේ සී සී මහත්තයාගේ ගජ මිත්‍රයානේ මිනිහට හැමදේම කියනවා....මිනිහට කිව්වහම ඉතින් ලංකාදීපේ පළවෙනි පිටුවේ දැම්මා වගේ තමයි.......
නැවතත් ඔහු මහ හඬින් සිනාසෙයි.....
13
මිනිසෙකු තවත් මිනිසෙකුගේ දුර්වල තැනක් සොයා සිනා සෙයි ඉන් නොනැවතී ඊට තදින් පහර දෙයි..ඊට මුහුන දිය නොහැක්කෝ ජීවිතයෙන් පලා යයි....ඊට මුහුන දිය යුතු හොඳම අයුර ලෙස මා දකින්නේ සමාජය අතේ දුරින් ඇසුරු කිරීමයි....වෙනුර මහතාට කාර්‍යාලයේ බොහෝ දෙනා විවිධ දෑ කියයි...මුහුනට සැදැහැවතුන් සේ හැසිරෙයි...මටද මට මෙන්ම අනෙකාටද අත්වන ඉරනම මෙයයි...කාර්යාල ජීවිතය තුල බොහෝ ප්‍රවේසම් විය යුතුයැයි මට හැඟිනි......
වෙනදාට වඩා අද දීප්තිමත් දිනයකි...හිරු අරුනේම බොහෝ රැස් විහිදාගෙනය......
අප්පේ අපේ අරවින්ද මහත්තයාව දකින්න තියන අමාරුව
සුමනදාස සුපුරුදු සිනහව සමඟ ගේට්ටුව අසල විය...
මාමා උදේ රැයින්ම කොහේද ගියේ?
මේ අපේ මහත්තයා උදේම බලු තඩියවත් දක්කගෙන ඇවිදින්න යනවනේ උන්දැට මහන්සි උනහම මම යනවා එක්කරගෙන එන්න....
සුමනදාස මාමා කියනා සමහර දේට සිනා නොවී සිටිය නොහැක....
අරවින්ද මහත්තයා රාජකාරියට යන්න වගේ.......
ඔව් මාමේ ප්‍රමාදයි වගේ මම යන්ටේ කියලා...
හොඳයි හොඳයි...රාජකාරිය දේවකාරියට සමානව කරන්න ඹ්නේ මේ මං වගේ.....
සුමනදාස මොකක්හරි කිව්වද?
මමද වික්ශිප්ත උනෙමි.....අසල ෆාම් පඳුරට ඔබ්බෙන් නිලූශි සිට තිබේ....
මා සිනහව නවතාගත්තේ ඉතා අපහසුවෙනි...
මේ යෝදි මෙතන මොකද කරන්නේයි සෙමෙන් මුමුනමින් ....ඔහු නිලූශිට පිලිතුරු දුනි
න්නෑ නිලූශි නොනේ මම මේ කීවේ රාජකාරියක තියන බරපතල කම...
සුමනදාස මාමා කීවේ ඇඟට පතට නොදැනීය...
අරවින්දටත් හොඳ උපදේශකයෙක් හම්බවෙලා තියෙන්නේ...
ඇය පළමුවර සිනාසෙනවා පැහැදිලිව මා දුටුවේ එවලේදීය....එම සිනහවේ බොහෝ සුන්දර බවක් දිස් වේ...වල ගැහෙන කම්ම්ල් මුහුනට අමුතු සුන්දරත්වයක් එක් කොට තිබුනි....
මම යන්ටේ කියලා....මැඩම්....ගිහින් එන්නම්..
මැඩම්......අරවින්ද වෙන කාත් එක්ක හරිද කතා කරන්නේ...නැත්නම් මාත් එක්කද?
මා කිසිවක් කීවේ නැතැ..
අරවින්ද මීට පස්සෙත් මාත් එක්ක ඔහොම කතා කරනවානම් කවදාවත් කතා නොකර ඉන්න....එහෙම හොඳයි නේද?
මා ගල් ගැසී ඇතැයි මට මොහොතකට සිතුනි..මේ හසරක් නොදත් කාන්තාව මා හට බොහෝ ලෙන්ගතු වෙන සෙයක් මට දැනිනි...
සමාවෙන්න...මා යටහත් පහත්ව කෙඳිරීමි....
ඇයි අරවින්දටවත් මාව හොඳ යාළුවෙක් වගේ පේන්නැද්ද?
යන්න අරවින්ද ගිහින් එන්න පරිස්සමින්....
මම යන්නම්...මා ඉක්මන් උනෙමි...සුමනදාස මාමාද පුදුමය මුසු දුකින් සිටිනවා යාන්තමින් මා දිටීමි...
14
කාර්යාලයට පිවිසෙද්දීම පිළිගානීමේ නිළදාරිනිය ලිපියක් මා අත පෑය...
මිස්ට අරවින්දට ලෙටර් එකක් ගමෙන් වෙන්නැති...
මට මුලු ලොවක් ලද්දාක් මෙන් විය..අද දින බොහෝ සොඳුරු යැයි මට සිතින.....
බුදු සරණයි
දයාබර මගේම අරවින්ද අයියාට
මගේ අයියේ දළඳා හාමුදුරුවන්ගේ පිහිටින් අයියා සුවෙන් වෙතැයි සිතමි..ඉතින් අයියේ මම මේ ලියුම ලීවේ අයියා ගිහින් ටික වෙලාවකට පසුවයි..අපි දෙන්නා ගෙවූ ජීවිතය හමුවේ තනියම විසිමේ ඉතා කටුක මෙන්ම දුශ්කර කාර්‍යය මට පැවරී තිබේ..එම හැඟීම් එලෙසම අයියාටත් දැනෙන බැව් මා දනිමි..සුදු අයියේ නැන්දාත් මාමාත් බැලූ අත බැලූ ගමන්මය...අපේ මාමා විටින් විට බන්ඩාරේ මෙහෙ වරෙන් යැයි කෑගසනවා දෙතුන් වරක්ම මට ඇසිනි..දරු සෙනෙහස එහෙමමය..
මා සිත අරවින්ද අයියා සොයන තරම් අයියාට දැනෙනවායැයි මට සිතේ..කුමන කටයුත්තක් කෙලෙස කරන්නට ගියත් අයියා මතක් වී නෙතට කඳුලු උනන වාර අනන්තය..සුදු අයියේ මේ මස ගෙවී ලබන මස ලබන තෙක් මා නොඉවසිල්ලෙන් පසුවෙමි..මගේ සුදු අයියාගේ මුහුන දකින්නට දින ගනින්න වේ යැයි මා බිඳ කුදු මොහොතකටවත් සිතුවේ නැත දැන් එම අපහසු කටයුත්ත මා කරමින් සිටිමි..අදින් පටන්ගන්නා බෝධිපූජාවක් නැන්දා සූදානම් කර තිබෙන බවක් නැන්දා කීය....සුදු අයියාට සතර වරම් පිහිට නොඅඩුව ලැබේ..දෙව් රැකවරන දළඳා හිමි වැඩසිටින බිම අපට උපතින්ම උරුමය..එම බලයෙන් මගේ අයියාට නිරතුරුව රැකවරන ලැබෙනු ඇත..මගේ අයියේ මම හැම වෙලාවකම අයියට ලියන්නම් මගේ මහත්තයාටත් පුළුවන් වෙලාවක් තිබුනොත් අකුරු දෙක තුනක් ලියලා එවන්න..නැන්දත් නිතරම අයියවම මතක් කරනවා..අප්පච්ච්ත් අම්මත් හවස බොධිපූජාවට යනවා කීවා..අම්මා කීවා ලපන සතියේ දිහාවට උඩුදුම්බර තැපැල් කාර්‍යාලයට ගිහින් අයියට කතා කරන්ටේ කියලා..අපේ හාමුදුරුවන් ලඟ අයියා නැවතිලා ඉන්න තැන ටැලි ෆෝන් නොම්බරේ තියෙයි කීවා..මම අද හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ලබන සතියේ දිහෑට අයියට කතා කරන්නම්..අප්පච්චිත් ඉරිඟු කපලා ඉවර නිසා තව ටික දොහකින් ටවුම දිහෑ යාවි..මමත් නොවැරදීම එදාට අයියට කතා කරන්නම්..
මම අදට නවතින්නම්
මම අයියගේම
මලිති.
හිත බොහෝ පිරී තිබේ .එතරම්ම බොළඳ වූ මලිතිගේ හිතේ මෙතරම් ගැඹුරක් මින් පෙර මා දැක නැත...
ඔහ් අරවින්ද අද උදේම හැපි මූඩ් එකක
කුමාර් එලාස කීවේ උපහාසාත්මක සිනහවක්ද එක් කරමිනි...
නෑ අපේ ගමෙන් ලියුමක් ඇවිත් නොවැ..
මේ දවස් තුන හතරට ලියුමක්...හ හ හා අරවින්දගේ ගැමි කුමිරිගෙන් වෙන්නැති...
කුමාර් සිනාසෙන විට මටද සියුම් ලැජ්ජාවක් විය.
එහෙම නේද ?
කුමාර්ගෙන් ගැළවීමක් නැත
හ්ම් ...මම සෙමෙන් හිස සැලීමි..
ඔහු ඔනෑවටත් වඩා අනුන්ගේ දෑ සොයතැයි මට සිතුනි..
මා ඉන් පසුව ඔහු විමසූ වදන් වලට පිළිතුරු දුන්නේ කිසිදු සැලකිල්ලක් නොදක්වමය...
15
නාගරික රළු බවට මා කලින්ම හුරු වී තිබේ..ක්ලෝරින් මුසු දිය හිස තෙමද්දී වෙනදා තරම් අපහසුවක් දැනුනේ නැත..සැන්දෑවද වෙනදාට වඩා පියකරු බවක් ඉසිලීය
කාමරය හා කාර්‍යාලය යන දෙතැනට කොටුවී සිටි මා හට මද විවේකයක් උවමනා විය.එහෙයින් මදක් ඇවිදින්නැයි සිතා වෙනුර මහතාගේ මිදුලෙහි වූ තණ බිස්ස මතට ගියෙමි...
එය මෘඳුය එම මෘදුබව දෙපතුලට හොඳින් දැනේ...
අරවින්ද අද කලින්ම ඇවිත්....
න් න් නෑ වෙනදා වෙලාවටමයි...අද ටිකක් එළියට එන්ටේ කියලා හිතුනා..
කෝ අද අරවින්දගේ උපදේශකයා නැද්ද?
නිලූශි විමසන්නේ සුමනදාස මාමා ගැනය..
න් නෑ අද තාම දැක්කේ නැහැ..මමද සිනාසීම නිලූශිට පිළිතුරු දුනිමි..
අරව්න්දට නිතරම ගම මතක් වෙනවා නේඳ?
ඔව් යැයි කීමය මම හිස සැලීමි..
මැඩම් කොහේද?
අරවින්ද......ඇය මගේ නම කීවේ තරමක කෝපයෙනි..
ස් ස්ස් සොරි ...න් න් නිලූශි....ඇගේ කොපය අමතක වන්නට මම තරමක් හඬින් සිනා සීමි...
නිලූශි කොහේද? කොළඹමද?
හ්ම් ඔව් ..මම දෙහිවල..බොරලැස්ගමුව කිට්ටුව...අරවින්ද දන්නවද බොරලැස්ගමුව හරිය....
නෑ නිලූශි මම තාම මෙහෙට අළුත් නොවැ..
අරවින්දගේ ගම් පලාතේ ෆෝන් පිවිච්චි කරන්නැද්ද?
නෑ ..තාම අර කුළුනු සවි කරලා ඉවර නැහැනේ ..අපිට කාට හරි කතා කරන්න උවමනා උනහම අපි උඩු දුමුබර තැපැල් කන්තෝරුවට යනවා..
අනේ පව්...
ඇය එසේ කීවාට වඩා කියවුනා යැයි මට සිතින...
මමත් ඔය ගැමි කමට කැමතියි අරවින්ද...හරි නිදහස් සරල විදිහට ජීවත් වෙන්න තිබුනා...මේ කරදරකාර වටපිටාවේ අපි හිරවෙලා...
ඇයි අපේ වෙනුර මහත්තයාත් අනුරාධපුරේ නේද? එහෙ පදිංචි උනානම් හරිනේ....
මේ අපේ වෙනුර එක්ක අනුරාධ පුරේ....එයා කැමති නැහැ අරවින්ද වැඩිය ගමේ යන්න .කියන්නේ ගමේ ගියොත් හැමදාම රණ්ඩුලු....දන්නැද්ද ඔය ඉඩම්වලට ගම්බද පලාත්වල හැමදාම රණ්ඩුනේ....
හ්ම්.....මමද ඇයට එකඟ උනෙමි..
මම කැමතියි අරවින්ද අර මහ ලොකූ වැවක් ලඟ හැන්දෑවක බලාන ඉන්න...
ඇය කථා කරන්නේ දෑස් විසල් කරමිනි...
මම හිතුවේ නිලුශි ගම්බද ජීවිතයට කැමති නැහැ කියලා..
අනේ නැහැ අරවින්ද මම හරී කැමතියි..මම කැමතියි නිදහසේ ඉන්න..මම දන්නවා අර මිනිහා අරවින්දට මම ගැන එක එක දේවල් කියන්නෑති කියලා..නමුත් අරවින්ද මම ටිකක් හරි නපුරු උනේ නැත්නම් ඔය මිනිස්සු මේ හැමදේම නැති කරලා..දන්නවනේ වෙනුරත් මේ දේවල් වලට කිසිම උනන්දුවක් නැහැනේ..
නිලූශි කතා කරන්නේ තරමක කෝපයෙනි..එම කෝපය සාධාරණයැයි මටද සිතේ...
මාත් යන්නම් අරවින්ද අරවින්ද ටිකක් ඇවිදලා යන්න ..මෙතන හරි සනීපයි සැහැල්ලුයි....
මා නිලූශී පිලිඹඳව සිති සිටි අයුරු නැවත සම්පූර්ණව නිවැරදි විය යුතුය...ඇය බොහෝ සරළ නිහතමානී කාන්තාවකි...
බොහෝ වේලාවකට පසු කාමරයට වැදුනු මා අත ගැටුනු පන්හිඳෙන් කලකට පසු කවියක් ලීවෙමි...
සුසුදු පිය මත
ලවැලි අරනක
එකින් එක පා
ලකුණු මත්තෙම
හැපි හැපී පිය
ගැට නොහී වද
අරන තනිවය
පුදසුනක් නැත.......
නෙලා නෙක මල්
අමුම අමුනා
තමර පෙති එක
එකින් පුපුදා
ලවැලි තල දිග
අතුර මුත් මල්
හිරුත් අවරට
ගිහින් නුඹ නැත.........
තාරපති දුල
පෑල දිග'හස
මෝදු කරමින්
කලු වලාකුල්
වැස්සකට අර
අදින මුත් සැඩ
ලිහිල් සළු දැරු
නුඹ තවම නැත.......
හදිසියේ ලියවුනු කවිය මේසය මත තබා නින්දට ගියේ රාත්‍රී අහරද නොගෙනය....
16
අරවින්ද මහත්තයෝ...
සුමනදාස මාමාගේ හඬින් මා කලබලයෙන් ඇහැරුනෙමි...
ඇයි මාමේ මේ ...කලබලයක්වත්ද?
නෑ නෑ මහත්තයා අද කෑමට ගියේ නැද්ද කියලා අපේ මහත්තයා ඇහුවා ....ගියේ නැතිනම් යන්න එපා කීවා...මම හිතන්නේ අපේ මහත්තයා අරවින්ද මහත්තයා එක්කලා කෑමට එළියට යන්න මයෙ හිතේ....අරවින්ද මහත්තයෝ මම ඔය මහත්තයාට ලෙන්ගතු හින්දා කියන්නේ එළියට ගියාට කමක්නෑ අපේ මහත්තයගේ අර බේබදු පුරුද්ද එහෙම පුරුදු වෙනවා නෙමෙයි...
සුමනදාස මාමා කීවේ විධානාත්මක ස්වරයෙනි....ඔහු සැබවින්ම මට ලෙන්ගතුයැයි සිතිනි...
එහෙනම් අරවින්ද මහත්තයා ලක ලෑස්ති උනානම් අපේ මහත්තයා බැය භාගෙකින් යන කතාවක් තමයි ඇහුනේ...
________________________________________________
මා හනි හනිකට ලෑස්ති උනෙමි...මෙවන් අයෙකු සමඟ රාත්‍රී අහර සඳහා පිටවීම මා භාග්‍යක් කොට සිතීමි...
විනාඩි කිහිපයකින් වෙනුර මහතා ලෑස්තිවී මා කාමරයේ දොරට තට්ටු කල හෙයින් මා ඉක්මනින් ඔහු හා එක්විය..
සුමනදාස ඉන්න...මම අරවින්ද මහත්තයා එක්ක යනවා...
මහත්තයාට පුලුවනෑ මේ රාත්තිරියේ වාහනේ ගෙනියන්න...
සුමනදාස හිතුවද මම දැන් වයසයි කියලා.....වෙනුර මහතා ඇසුවේ ඹ්නෑවටත් වඩා සිනා සෙමිනි...
වෙනුර මහතා මෙලෙස සිනා සෙනවා මා දුටු පළමු අවස්ථාව මෙයයි..
සුමනදාස මේ අරවින්ද මහත්තයාගේ කාමරේ අස් කරලා දානවා...මම මීට කලිනුත් කීවනේ දවස් දෙක තුනකට වතාවක් අස් පස් කරන්න කියලා...මේ මනුස්සයා රස්සාවට යනවා රෑ වෙලා එන්නේ......
හොඳමයි හොඳමයි අපේ මහත්තයා...සුමනදාය මාමා පිළිතුරු දෙන්නේ ඉතා යටහත් පහත් බවකිනි...වෙනුර මහතා මෙතරම්ම නිහතමානී අයෙකු යැයි මා කිසි විටක සිතුවේ නැත..
අපි යමු නේද අරවින්ද....
මාද අවනතව මෝටර් රියට ගොඩවීමී....
විනාඩි ගනනක ගමනකින් පසුව ඉතා නිස්කලංකල වූත් සුවපහසු වූත් අවන් හලක්යැයි සිතිය හැකි ස්ථානයකට අප ලඟා විය..
සැබවින්ම එය අපූරු ස්ථානයක් විය...ගලා යන දිය දහරකින් යුතු වූ මෙය රට බීම අලවි සැලක් යැයි මා ප්‍රත්‍යක්ශ කර ගතිමි....දැඩි සිතලක් සිරුර වෙලා ගෙන තිබිනි...මුහුදු රළ හඬ මනාව ඇසෙයි...ලුණු මුසු වූ සුළඟ දෙතොල ලුනු රස කර තිබිනි...මද අඳුරත් ඊටම ගැලපෙන මියුරු සිහින් සංගීතයත් මෙම ස්ථානයට අමුතුම නැවුම් බවක් එක්කොට තිබිනි...
17
අරවින්ද වාඩිවෙන්නැයි වෙනුර මහතාද අසුන් ගන්නා ගමන් මට අසුනක් පෙන්වීය..
අරවින්ද මොනවද බොන්න කැමති...
අනේ මහත්තයෝ මම ඔව්ව බොන්නෑ...අනික මට ඔව්වා පුරුදුත් නැහැ...
මා බිය වූ සෙයක් මටම දිස්වේ
ඔහ්....එහෙනම් අරවින්ද කන්න .....
හොඳමයි සර්
වේටර් අත වූ මෙනුවෙහි යමක් සටහන් කල වෙනුර මහතා මා දෙස බලා සිනා සීය..
මමත් ගමේ හැදිච්ච මිනිහෙක් අරවින්ද....
මට අපේ හාමුදුරුවෝ කීවා..
මම අනුරාධ පුරේ වෙල් දෙනි වැව් තාවලු ගැමිකම මම හොඳට අඳුනනවා..නමුත් අරවින්ද මේ සමාජ ක්‍රමයත් එක්ක අපිට සමගාමිව යන්න වෙලා...මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ මේවගේ සමාජ ශාලා වලට එකතු වෙලා මේ අනිත් අයත් එක්ක එකතු නොවුනොත් අපි නිකම්ම නිකම් මිනිස්සු විතරක් වෙනවා...මම කියන්නෑ කොයි වෙලාවකවත් මේ ක්‍රමය නිවැරදියි කියලා..නමුත් මේ නිල තලත් එක්ක අපිට මේවට අනුවර්ථනය වෙන්න වෙලා...
වේටර් වරයා කළු පැහැති බෝතලයක් සහ තවත් කැම වර්ග කිහිපයක් මේසය මත තැබීය...
අරවින්ද බිය(ර්) එකක්වත් ගන්නැද්ද?
මම මීට කලින් අරන් නෑ සර්
මට වෙනුර මහතාට විරුද්ධ විය නොහැක..ඔහු මා ගැමි නෝන්ජලයෙකුයි සිතනවා විය හැකිය..
ඔහු නැවත වේටර් අමතා මොනවාදෝ ගෙන එන්නැයි කියනවා ඇසුනි ..
අරවින්ද බය වෙලාද?
න් නෑ සර්..
මම අරවින්දට බියර් එකක් ගේන්න කිව්වේ මමත් මේ වැඩේ ඉවර කරනකල් කම්මැලි කමක් නැතුව මාත් එක්ක ඉන්න..ඹහු එසේ කීවේ අසල වූ කළු පැහැති බෝතලය දෑසින් පෙන්නමිනි...
ඔහු බෝතලයේ මූඩිය විවර කලේ දැඩි පුරුදු කාරයෙකු ලෙසට...වීදුරුව මත හලා ගන් සැර බීම වෙවත් බීමකින් පදම් විය...විනීත ලෙස ඔහු එය තොල ගාන්නට විය..
18
ගන්න අරවින්ද
මා අසල වූ බියර් බොතලය වීදුරුවට දමද්දී එහි වූ පෙන වීදුරුව වසා මේසය මතද ඉහිරිනි..වෙනුර මහතා යාබදු ලෙස සිනහ විනි....
අරවින්ද මිනිස්සු මේවා පාවිච්චි කරන්න විවිධ හේතු හොයා ගන්නවා...දුක සතුට සමරන්න විතරක් නෙමෙයි ජීවිතේ අඩු පාඩ් මකා ගන්නත් පාවිච්චි කරනවා...
සර්ට දුකක් නැහැ සතුටට බොනවා...මම කීවේ තරමක හඩින් සිනා සෙමිනි..
හ්ම්..ඔහු එලෙස පිළිතුරු දුන්නේ මන්දගාමීවය...නැතිනම් කනස්සල්ලෙනි...
ලෝකෙට පේන අපි සුන්දර සතුට විතරක්ම තියන මිනිස්සු නමුත් අපි අපේ හිත් වල අන්තගාමියෝ ...නැත්නම් විඳවන්නෝ...
වෙනුර මහතා සූදානම් වන්නේ මහ විශාල කථාවක් කීමටය...
අරවින්ද සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල් වල ප්‍රශ්ණයක් උනහම කතා කරන්න විසඳුම් හොයන්න අනිත් අයට උදව් කරන්න මැදිහත් වෙන්න පුලුවන්...නමුත් මේ අපි ගෙවන උගත් බුද්ධිමත් ධනවත් කියන සමාජ ක්‍රමය එහෙම දේකටවත් ඉඉක් සලසන්නෑ...අපව ලැජ්ජාව අනිත් අය දැනගනීවි..අපහාස උපහාස කරාවි කියන සිතුවිල්ලෙන් යටපත් කරගෙන ඉන්නේ..
මම හිතන්නේ අපි හැමෝම ලැජ්ජාවට බයයි...මා වෙනුර මහතාගේ කථාවට හරස් විය..
අරවින්ද හරි නමුත් විශාල සමාජ වපසරියක ගැවසෙද්දි අපි ඊට වඩා තරමක් වෙනස් වෙනවා...
සර් හරි..මා එසේ කීවේ කීමට තරම් වැරැද්දක් එම කතාවේ නොඳුටු හෙයිනි...
අරවින්ද අපි අඬනවා ..ලෝකයක් ඉස්සරහා මහා හඬින් වීරයෝ වගේ හිනා වෙනවා..ඊට පස්සේ අර හිනාව සමරනවා...අපි විඳවනවා අරවින්ද තේරෙන සිංහලෙන් කීවොත් අපි විඳවනවා..
වෙනුර මහතා දෙවැනි තුන්වෙනි වර වීදුරුව පුරවා ගනිද්දී පළමු වර ඔහු කෙරෙන් දිස් වූ වීනීත කම අහලකවත් නොවිනි...වීදුරුව පුරවා ගත් මදුවිත ඔහු හැල්මේ එක හුස්මට උගුර මත හලා ගත්තේය..
මමද බියර් වීදුරුව සෙමින් තොල ගාන්නට විය....මත තිත්ත රස දිවට අමුතු අයුරක නුහුරු බවක් එක්කොට තිබුනද මා ඊට ඇලුම් කරන බවක් මා පෙන්වූයේ වෙනුර මහතාගේ හිත රිදෙයි යැයි සිතූ නිසාය...
අරවින්ද මම බැඳපු මිනිහෙක්.....
මා ඔහු හා කිසිත් නොකියා සිනා සුනෙමි..
මට හැමදේම තියනවා...යාන වාහන ගෙවල් දොරවල්....ඉඩ කඩම්...හොඳ බිරිඳක්...නමුත් අපි අසම්පූර්ණ පවුලක්...මේවා කාටද අරවින්ද අපි කවුරු වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ....අපි අසම්පූර්ණ පවුලක් අරවින්ද අපි අසම්පූර්නයි....
ඔහු එකම දේ නැවත නැවතත් පවසයි..පවසන සෑම විටකම පෙරට වඩා ගැඹුරු බවින් පවසයි...
අරවින්ද දන්නවාද? අපි බැඳලා ලබන විසි පස් වෙනිදට අවුරුදු හයයි.....දැන් නිලූට අවුරුදු විසි හතක්..අපේ අප්පච්චිගේ හොඳම යාළුවා තමයි නිලූගේ තාත්තා..ඔය හැඳුනුම් කම මත තමයි අපි මැරි කලේ...එතකොට නිලූට යාන්තම් විස්ස ලැබුවා විතරයි...මම නිලූට හුඟාක් වැඩිමල්...අපේ අප්පච්චිට උවමනා උනා එයා අසනීපයි කියලා දැනගත්තහම අපේ වෙඩින් එක ඉක්මන් කරන්න..අපේ වෙඩින් එකෙන් මාස හතරකට පස්සේ අප්පච්චි නැති වුනා..
මා කුමක් කිව යුතුදැයි මට වැටහුනේ නැත...අසා සිටීම උහුට අස්වැසිල්ලක් විය හැකි හෙයින් මා අසා සිටියෙමි...
අරවින්දට මම කතා කරන එක කරදරයක්ද?
අනේ නැහැ සර්...මම කල්පනා කලේ ජීවිතේ හැටි..
19
මා බිඳෙන් බිඳ තොලගෑ බියර් මතින් යම් මත් නුහුරු මත් බවක් එක් කර තිබුනි..හිස නොදන්නා බමත මතකින් මත් වි තිබුනි...හාත් පස අපූරු ප්‍රවේගයකින් භමනය විනි...අමුතු සැහැල්ලුවක් හිතට මෙන්ම හිසටද එක්කර තිබිනි...
අරවින්ද දන්නවද අපි හැමෝම හරිම අමුතු ලෝකෙක ජීවත් වෙන්නේ...අපි අඬන මිනිස්සු අපිට සිනාවක් නැහැ..
සර් හුඟාක් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ...කියන්න මම අහගෙන ඉන්නම්...
පෙර මා තුල වූ නුහුරු බව මා කෙරෙන් පහව ගොස් තිබුනු සෙයක් පෙනිනි...
අරවින්ද තව බියර් එකක් ගන්නවාද?
අවසාන බිඳු කිහිපයත් මා වීදුරුව මත වත් කරනවා දුටු වෙනුර මහතා විමසුවේ බිම බලා ගත් වනමය..
මා කිසිවක් කීවේ නැත ...ඔහු තව බියර් බෝතලයක් ගෙනන්නැයි වේටර් වරයාට කීවේ එම නිහඩ බව නිසා විය යුතුය...
වෙනුර මහතා සිටියේ සිහියත් අව සිහියත් අතර මා නොදන්නා තැනකය..දෙනියේ කිරා මාමා ගොයම් කපනා සෑම දිනකම හවස් යාමයේ අප්පච්චී සමඟ අප්පු මාමාගේ කිතුලෙන් රා ගෙනවිත් පදමට බී සින්දු කියනා සතුටු වෙනා යුරු මට මෙයත් සමඟ සිහි විය...
අරවින්ද මොනවද කල්පනා කරන්නේ...
නෑ සර් මට ගම මතක් උනා...අප්පච්චි මතක් උනා
අරවින්ද අපේ අප්පච්චි නැති වුනේ අපි මැරි කරලා දවස් දහයකට පස්සේ....
අනේ දෙයියනේ....!! මට එසේ කියවිනි...
මමයි නිලූයි එතකොට හිටියේ අප්පච්චිගේ බදුල්ලේ බංග්ලෝ එකේ....උදේ දහයට විතර අප්පච්චී හොස්පිටල් ගෙනිච්චා කියලා දැන ගත්තා...උදේ එකොලහ වෙද්දි අප්පච්චි නැති වෙලා..
අප්පච්චි හොස්පිටල් නැවැත්තුවා කියලා දැනගනිද්දි මම නිලූ එක්ක කොළඹ එන්න පිටත් වුනා..අප්පච්චි නැති වුනා කියලා දැනගනිද්දී මම හිටියේ නුවර කිට්ටුව මම තරමක ඉක්මනට ඩ්‍රයිව් කලේ නිලූ හුඟාක් බය වෙලා හිටියේ...මට යාන්තමට මතකයි නුවර පහු කරලා කිලෝමීටර් දහයක් පහලොවක් විතර ගියා එක පාරටම ඉස්සරහට නුවර කොළඹ බස් එකක් එනවා දැක්කා මට කර කියා ගන්න දෙයක් ඉතිරි උනේ නැහැ..මට මතකයි කාර් එක බස් එකේ හැපිලා එක පාරක් පාරේ දකුණු පැත්තට පෙරලෙනවා..ඊට පස්සේ මොකක් හරි ගහක වැදුනා....මම යාන්තමට ඇස් ඇරලා බැලුවා නිලූව එයත් ලේ විලක හිටියේ...මට දැනුනා මගේ ඇඟේ පහල කොටස නැහැ වගේ ..මට එච්චරමයි මතක...එයාර් බෑග් එක හිරවෙලා තිබුනු විදිහට මට හුස්ම ගන්නත් අපසහුවක් තිබුනා..
20
මා හුස්ම ගත්තා දැයි මට මතක නැත...වරක් දෙපස බැලූමම හැල්මේ බියර් උගුරු කිහිපයක් උගුර මත හලා ගතිමි..
සර් ඊට පස්සේ මොකද වුනේ? මා නොඉවසිලිමතිවී සිටියෙමි.....
ඔහු කිසිත් නොදොඩවයි....හිස් බැල්මකින් මුලු ලොවම නැතිවී ගිය බවක් අඟවයි...
මට සිහිය තිබුනේ නැහැ අරවින්ද සිහිය එද්දි ම හිටියේ කොළඹ .....මට අමාරු හින්දා මාව කොළඹ එවලා ..නිලූට හුඟාක් අමාරු නැති නිසා එයාව පේරාදෙනියේ නවත්තලා...මම දවස් විසි අටක් අයි.සී.යූ හිටියා....සිහිය ඇවිත් තිබුනත් මම කිසිම දෙයක් දැනුනේ නැහැ.......මාස හතරකට විතර පස්සේ තමයි මට යාන්තම් ඹලුව උස්සන්න පුලුවන් උනේ..දිනූත් අමාරුවෙන් අම්මෙක් වගේ මගේ හැම දේම කලා....මගේ ස්නායු වට හුඟාක් හානි වෙලා තිබුනා .....මාව අසම්පූර්න මිනිහෙක් කරන්න එ් සිද්ධියට පුලුවන් උනා අරවින්ද..
ඔහු වැරෙන් මේසය මතට පහර දුන්නේ හදිසියේ පැන නැගුනු වේදනාව යටපත් කරගන්නටය....
නිලූ වගේ ගෑනියෙක් උප උපන් ජාතිවත් හම්බ වෙන්නෑ අරවින්ද.....දෑස් කුඩා කරම්න් ඔහු කියවයි...මටද දෑස අදහා ගන්න බැරි විය...
මම අරවින්ද වගේ මිනිහෙක්ට මේක කියන්න හේතු හුඟාක් තියනවා....අරවින්ද වැදගත් විදිහට ගමේ හැදිච්ච කොල්ලෙක්...මට යාලුවෙක් ඹ්නේ අරව්න්ද මේ හැම දේම කියන්න..මට මේවා හිතේ හිර කරගෙන ඉන්න බැහැ..මම මැරෙයි අරවින්ද ..මමත් මිනිහෙක් මේ තොරොම්බල් නිල තල වලට යට උනාට මමත් හිතක් පපුවක් තියන අනිත් හැමෝම වගේ මිනිහෙක්...මම මහ කාල කන්නි මිනිහෙක්...මම ඉපදිලා මාස හතරකට පස්සේ අම්මා නැති උනා....එතනින් පටන් ගත්තු නැතිවීම අදටත් මේ දැනටත් තියනවා ...අහිමි වීමම විතරයි අරවින්ද මගේ ජීවිතේ.....
No comments:
Post a Comment
බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..