පූජාසනේ තියන හැම මලක්ම සීරුවට ආමිස පූජාව පුරලා..මේ හැම මලක්ම හැන්දෑවට කුණූ බඳුන සිපගනීවි..මේ සුවඳ කොහේද ඉඳන් එන සුළඟ අරන් යාවි..ජීවිතය මේ කියලා නොතේරෙන උන් එහෙව් සුවඳට පෙම් බඳීවි..හිතේ පැළ පදියම්කරගනීවි..එහෙම හිතුනට මමත් පෘතග්ජනයෙක්...මම එහෙම මගේ හිතට කියාගත්තේ යාන්තමින් හිතට සැනසීමක් අරන් එන්න...
උත්තුංග දේහධාරී නා ගස කාෂ්ඨකේ කියලා නොබලාම මල් පුබුඳුවලා...බෝ ගස හැම කොළයක්ම අතෑරලා අළුතෙන් දළුලන්න.....පෑගෙන බෝ පත් පිළිවෙලට ඇමඳපු මිදුලේ නාරටි රටා වියලා..
කලකට ඉහත පිවිසුම් දොරටුවේ සවිකල පුවරුව තව තවත් ඒකාලෝක වෙලා...පංසල් බිම උදේ පාන්දර කියලාම නොතකා බොහෝ මිනිසුන්ගෙන් පිරී ගිහින්...
නැකැත් තරු...යන්ත්‍ර මන්ත්‍ර ....සාන්තිකර්ම....මේ හැමදෙයක් අතරම මම මොකක්දෝ නොදන්න අනන්තරීය පාපා කර්මයක පැටලිලා..
ලොකු හාන්දුරුවෝ අපවත් වෙලා තුන්මහ යාන්තමින් පිරුනා විතරයි..මම මේ පින් භවන පවුකාර ගුහාවක් කරලා....
අපේ නායක හාමුදුරුවෝ මට දෙස් තියනවා වෙන්නැති.....උන්නාන්සේ මෙව්වා ඉගැන්නුවේ මිනිස්සුන්ට පිහිට වෙන්න මිසක් නපුරක් කරන්න නෙමෙයි...
මම මොනවද මේ හිතන්නේ...මම මගෙන්ම ප්‍රශ්න කොට ගතිමි...
අම්මා ලෙඩ ගානේ දුක් විඳියි...අක්කා මඟුල අතැර විත් අම්මා සමඟ ගෙවන්නේ දුඃකිත ජිවිතයකි...අක්කාගේ පුතා පාසල් යා යුතුව ඇත...
සල්ලි....මේ හැම දේකටම දෙන්න පුළුවන් වටිනාකම මිල මුදල් වලින්..... මම මගේ සිත සාදාගතිමි...
වෙද හාමුදුරුවනේ දානේ එහෙම වළඳලා සූජානම් උණානම්...අර ඇත්තෝ බොහෝ දුර ගං පලාත් වලින් ඇවිත් ඉන්නේ.....
අප්පු මාමා එසේ කීවේ පැමිණි සැම කෙරෙහි වූ ලෙංගතුබව නිසානම් නොවේ....
අප්පු මාමේ මං පොඩි හාමුදුරුවෝ...වෙද හාමුදුරුවෝ නෙමෙයි.....මා කීවේ බිම බලාගත් වනමය...
අපේ හාමුදුරුවන්ට අද මක්කැයි මේ වෙලා තියෙන්නේ....අප්පු මාමාගේ වදන් තරමක් රළු වූ හැඩකි...
අප්පු මාමේ මං මේ චීවරේ විකුනං කනවා...
මක්කැයි දැන් හාමුදුරුවෝ කියන්නේ.....අප්පුමාමා ආරූඬ වූ සෙයකි...
හැමෝටම මෙහෙම දේවල් ලැබෙන්නෑ...අපේ හාමුදුරුවනේ හාමුදුරුවන් ගැන හිතන්නෙපා...අර උපාසක අම්මලා ගැනයි හයක් හතරක් නොතේරෙන කොළු පැටියා ගැවයි හිතන්න...උන්ට කාත් කව්රුවත් නැහැ අපේ හාමුදුරුවනේ...මෙවුවා නැති උනොත් උන් හාමතේ මැරිලා යාවි..
අප්පු මාමා කියන්නේ අම්මා අක්කා හා අක්කාගේ පුතා ගැනය...
හ්ම්.....මා වෙන කිසිවක් කීවේ නැත....
ආන් දානේ සූඳානම් කරලා තියනවා...වැළඳුවානම් පුංචි හාමුදුරුවෝ බුද්ධ පූජාව තියනවා මං අහගෙන......
මා අකමැත්තෙන් හෝ නැවත මේ කාර්‍යයන් සිදුකල යුතු වේ....එය අප්පු මාමා කියනා ලෙසට සත් කාර්‍යයකි...
අද බොහෝ අවිවේකී දිනයකි....යන්ත්‍ර මන්ත්‍ර තෙපලා උඟුර ලේ රහ වී තිබේ....
අප්පු මාමා පඬුරු සූක්ෂම ලෙස අසුරා පඬුරු පෙට්ටියේ ලෑවේ ආරක්ශාවට ය.
රාත්‍රිය බොහෝ දිගුය....හීන නොපෙනුනත් හිත මොකක්දෝ නොදන්නා රූපයන්ගෙන් බිය වේ....නින්ද අඩ නික්ද අතර කාලය ගෙව්වා විනා..සුව නින්දක් ලැබුවේ නැත...
හිත නිතරම සංතාපයෙන් වෙලී ගෙනය....ආත්මය පසාරුකරගෙන හෘදශාක්ෂිය නැගීසිටියි....
මං මහ පවු කාරයෙක්.....මම මටම දොස් පවරගත්තේ දොස මටම නියතවම හිමි විය යුතු නිසාය..
උදේ පාන්දර අඳින කඩය දෙහි ගස වසා තැබුවේ නැවත සිරුර නොවසන ස්ථිර අධිෂ්ඨානයෙනි...
මං සිවුර අතාරිනවා..මේ පවුකාරකම් සිවුරුපටින් වහගන්න බැහැ.....මා දැඩි කෝපයෙන් කීවේ විහාර බිම වටා දෝංකාර දෙන්නටය...
පංසලට නුදුරු කුඹුරුයායේ ඈතින් කඩිසර ගමනින් එන අප්පු මාමා දුටු මට මොකක්දෝ නුහුරක් දැනිනි....
අප්පු මාමා මා අසලම නැවතුනේ වික්ෂිප්ත භාවයෙනි..
අපේ හාමුදුරුවෝ මේ මොන නාඩගමක්ද නටන්න සූඳානම් වෙන්නේ...අප්පු මාමා කෝපයෙන් වෙවුලයි...
මං සිවුර අතෑරියා අප්පු මාමේ...මේ පවුකාර වැඩ සිවුරු පොටට හරියන්නෑ...
අපේ හාමුදුරුවනේ එහෙම කරන්න එපා...අප්පු මාමා මා දෙපතුල බදා වැඳ සිටියි..
අපේ උපාසක අම්මා මේ දැන් ආන්තරා උනා පොඩි හාමුදුරුවන්ගේ මෑනියන්ට පාංසකූලෙට වෙන කවුරු වඩින්නද අපේ හාමුදුරුවනේ.....
මයේ අම්මා නැතිවෙලා...මා එසේ කියා නැවතත් සිවුරු පොට ගෙන වෙනදාටත් හොඳින් සිරුර වසාගත්තේ දැඩි භක්තියෙන්...
නිවස බලා හැල්මේ ගියේ අම්මාගේ සිරුරේ යාන්තමින් හෝ උණුහුමක් වේදැයි සොයන්නටය...
නැවත පංසල බලා වැඩියේ සුන් වූ බලා පොරොත්තු අතරින් නැවුම් බලා පොරොත්තුවක්ද සුලැඟිල්ලේ එල්ලාය..
අක්කගේ පුතා.....මගේ ගෝල සාමනේර වසන්සේ....මා ඔහු දෙස බැලුවේ ..කඳුළු පිරුනු දෙනෙතින් යාන්තමට සිනාසෙන ගමන්මය.....
රාහුල....ඇසෙන්නට නොඇසෙන්නට නව නාමය කියා මා ඔහු හිස පිරිමැදීමි.....
ඔන්න අදත් මම එක..ලස්සන සංවේදි කතාවක්.ඇත්තටම ඔහොම හිතෙනවා ඇති නේද ඔය වැඩ කරන හාමුදුරුවරුන්ට...
ReplyDeleteම්ම්ම් සංවේදී කතාවක්...
ReplyDeleteනොපෙනෙන සංවේදී කතාවක්. ඇත්තටම ගොඩාක් ලස්සනයි..
ReplyDeleteලස්සන කතාවකි
ReplyDelete