Tuesday 27 December 2011

නියඟලා 21 පරිච්ඡ්දය..



















                                  21
මිනිසුන් හඬයි .හේතුවක් නැතිව සමහරු අඩන්නේ හේතුවක් සොයන්නටය...එහෙව් මිනිසුන් අතර වෙනුර මහතා සැබවින්ම ජිවිතය විඳවමින් අඬනා මිනිසෙකුයි මට සිතේ....


ඊයේ රැය දිගු වූවා වැඩිය..සිත තවමත් බමන මතිනි...වතුර මල මත හැල්මේ බොහෝ වේලා හිස හොවාගෙන සිටියෙමි..මද සැහැල්ලුවක් විය එය...


අද ඉරිදා බැවින් කාර්‍යාලයට යාමට අවැසි නැත...නමුත් කිරීමට වැඩ එමටය..අතරින් පතර කාමරයේ තැනින් තැන දමා තිබෙන ඇඳුම් දුටුවිට නැවතත් හිසට බමන මත එක්විය...එකින් එක එකතු කර සියළුම ඇඳුම් සෝදන්නට සූදානම් උනෙමි.........


පැයක පමන දැඩි වෙහෙසකින් පසුව සියළු රෙදිපිලි සෝදා දැමුවෙමි....


රෙදි බාල්දියද අතැතිව නිවස පිටුපස වූ වැල වෙත ගියෙමි..


හ්ම්....මේ ඉන්නේ අනිත් බේබද්දා.....


මා නියතවම පියවි ලොවට පැමිනියේ දැන්ය...අපේ අම්මා හේනේ කිරා මාමා අමතන්නේ ඔය අයුරෙනි...ඔය මිනිහා බේබද්දා ඔය මිනිහා එක්ක පෑහෙන්න යනවා නෙමෙයි යැයි අම්මා කියන්නේ මට පමනක් ඇසෙන්නට නොවේ අම්මා මා පිටින් දමා එය කියන්නේ අප්පච්චිටය.


අනේ නැහැ නිලූශි අර බියර් ද මොනවද කියන්නේ අන්න එයින්නේ බිව්වේ .....


ඉතින් එව්වා බිව්වානම් අරවින්දට මතක තියනවා නේද ගෙදර  ආපු විදිහ..


ඇය ප්‍රශ්න අසන්නේ ගමේ ඉස්කෝලේ බමුනුගල මහතා ප්‍රශ්න අසනා ලෙසය...උත්තර දුන්නද නොදුන්නද නියතවම දඬුවම් ලැබෙනු ඇත....


න්....නැහැ..මා කීවේ බිම බලා ගත් වනමය...


හොඳයි අරවින්ද..හරි හොඳයි...අරවින්දගේ කැමැත්ත..මේක ඔයාගේ ජීවිතය..ඔයාට කැමති විදිහට ගෙවන්න පුළුවන්..නමුත් ගමේ අරවින්ද වෙනුවෙන් ඉන්න අම්මා අප්පච්චි අර අපිට නොකියන අහින්සකී වෙනුවෙන් ජීවත් වෙන්න...


මා කිසිවක් කිවේ නැත....


අරවින්දට ගමේ ගෑණු ළමයෙක් ඉන්නවා නේද?


හ්ම් ..මා කෙඳුරුවේ වරදට හසුවූ දරුනු අපරාධ කරුවෙකු ලෙසය...


අන්න අරවින්දගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කථා කලා අද අර ගෑනු ළමයා දවල් දෙකට කථා කරනවා කිවා...අරවින්ද දෙක වෙද්දි ඉන්න .පවු රස්තියාදු වෙයි අර ළමයා..අරවින්දලෑ ගමේ ෆෝන් නැහැ නේද?


න්..නැහැ ටවුමටම යන්න ඹ්නේ කථා කරන්න..


හ්ම්....යන්න අරවින්ද රෙදි වනන්න....නාස්ති වෙන්න එපා....පුරුදු වෙන්නත් එපා වැරදි දේවල් වලට...


මා කිසිවක් නොකියා දරාගත නොහැකි සතුටකින් නික්ම ගියෙමි..


කාලය වේගයෙන් ගෙවෙන බවක් නොපෙනේ...තවම එකොලහ පසුවූවා පමණි....මොහොතින් මොහොත ඔරලෝසුවේ මන්දගාමී තත්පර කටු දෙස දැස් හොවා සිටිනවා හැර කිරිමට දෙයක් නැත..


මලිති දැන් ලහි ලහියේ මාමා සමඟ ටවුමය යෑමට සූදානම් වනවා විය යුතුය...නුගේ ලිඳ ලඟ වෙනදා මෙන් ගමේ ගැහැනුන් සමඟ නොහිඳ කඩිසරව ගමනට සූදානම් වනවා ඇත....මලිති මහත් උද්දාමයෙන් දිලිසෙනා දෑසින් යුතුව මා මෙන්ම ඹරලෝසු කටු ගනිනවා විය හැකිය...මාමා කුරක්කන් කපා අවසන් වන්නට ඇත...අප්පච්චිගේ අස්වැන්නද සහිතව පොලේ චන්ඳ්‍රසිරි මාමාගේ ට්‍රක්ටරයෙන් මලිතිද කැටුව එනු ඇත....මලිති මල් රතු පැහැ බෝරිච්චි අත් සහිත ගවුමෙන් සැරසී උදය පිපි රත් මලක් ලෙස එයි....මුත් මට අසන්නට වෙන්නේ හඬ පමනි..


දොලහේ කනිසම අද එක්වූයේ බොහෝ ප්‍රමාදවය..කීමට බොහෝ දෑ වෙති..අම්මා සුවෙන් වෙතැයිද දැනගත යුතුය...මේ ඉදිරියට එන වැසි සමය සමඟ අම්මාගේ පිනස ඇදුම දක්වා ඉහල යයි...අපහසුවෙන් හුස්ම ගන්නා අම්මාගේ හඬ හද පත්ලට ඊයම් බරුවක්ව බැස හද පෑරවීය...
කාලය ගෙවෙන්නේ නැත...මේසය මත වු කඩදාසි කිහිපය මත දෑස් දිවිවෙමි..ඊයේ මා කවියක් ලිව්වාක් මෙන් මතකය...එය පෙනෙන්නටවත් නැත...සමහර විට සුමනදාස මාමා කාමරය අස්පස් කිරිමේදී එය ඉවත දමුවා වන්නට පුලුවන....


පෑන අතට ගෙන බොහෝ වේලාවක් මේසය මත වූ කඩදහි මත මලිතිගේ නම සටහන් කලෙමි....එහි අවසන කඩදාසියෙහි මලිති තෙරුවන් සරණින් ඉක්මනින් එන්නැයි ලියා තැබුවෙමි...


බොහෝ අකාරුණික ඔරලෝසුට යාන්තමින් දෙක සනිටුවහන් කර තිබිනි....තවම නිලූශිගෙන් කැඳවුමක් ලැබුනේ නැත...බොහෝ හැල්මේ දිව් කාලය තටු ලද්දාක් මෙන් ඉගිලෙන්නට විය..විනාඩිය විනාඩිය එකතු කරමින් ඔරලෝසුව මොකක්දෝ අරගලයකට සූදානම්ය....දෙකයි පහ...දෙකයි දහය...දෙකයි කාල....මා ඉවසීමේ සීමාව බලාපෙරොත්තුවේ මායාවෙන් නික්ම ගොස් තිබුනි....


වහා වෙනුර මහතාගේ නිවසේ සිනුව නාද කලෙමි....


අරවින්ද.....එන්න ගෙට.....මම මේ දැන් නැඟිට්ටේ...අද ඉතින් නිවාඩු දවසනේ....


වෙනුර මහතා තවමත් නින්දේය...ඊයේ රැයේ මතින් සිටි තරමට දැන් අවදි වු දෙයද පුදුමයකි...


අරවින්ද කලබලෙන්.....ප්‍රශ්නයක්ද?


න්..නෑ අද ගෙදරින් කතා කරනවා කියලා අපේ හාමුදුරුවෝ කීවා නියලා නිලූශි නෝනා කිව්වා...තාම නැහැ..දැන් එන්නත් වෙලා...


අරවින්ද දන්නවද එයාලා කතා කරන ටෙලිෆෝන් නම්බර් එක...


ඔව් සර්..තැපැල් කන්තෝරුවේ එකෙන් තමා ගන්නේ...මේ තියෙන්නේ අර නොම්මරේ .....මා අත වු කඩදාසි කැබැල්ල වෙනුර මහතා අත තැබිය...


ඉන්න මම අරන් බලන්නම්...කවුරු කිව්වහමද අරවින්දව දන්නේ.....


බන්ඩාර කිව්වහම දන්නවා.....උඩු දුම්බර බණ්ඩාර කියන්නකෝ..මම තැපැල් මහත්තයාව හඳුනනවා..අපේ අප්පච්චිලාගේ පැත්තෙන් නෑයෝ වෙනවා...


මෙන්න රිංග්ස් යනවා අරවින්දම කතා කරන්නකෝ....වෙනුර මහතා රිසිවරය මා අත තැබිය...


අනෙක් පසින් තැපැල් මාමාගේ ගොරහැඩි හඬ විය....


මාමේ මම අරවින්ද.......


අප්පේ අපේ කොලුවට අපිව මතක් වෙලා තියෙන්නේ......


මාමේ අපේ සූරි මාමා අද එනවා කිවා කතා කරන්න තාම නැතෙයි.....


නැ දරුවෝ තාමනම් නැහැ...දැන් හැන්දෑ වේගනත් එනවා මම හිතන්නේ චන්ද්‍රසිරිට බෝග ටික දිලම එයි....


හා හොඳයි මාමේ මම එහෙනම් තියන්නම්...මාමාට දළඳා හාමුදුරුවෝ පිහිටයි....


මා එසේ කියා දුරකතනය විසන්දි කලේ තවදුරටත් බලා පොරොත්තු තබාගෙනමය....


අරවින්ද එයාලා ඇවිත් නැත්නම් වාඩිවෙලා ඉන්න එනකල්....මම වොෂ් එකක් දාගෙන එන්නම්....වෙනුර මහතා එසේ කියාගෙනම සාලයෙන් ඉහල මාලයට පිය මැන්නේය.


ඔරලෝසුව තුනේ කනිසමටද කිට්ටුවෙනි...මලිති තවමත් නැත...


අරවින්ද තාම ගමෙන් කතා කලේ නැද්ද?


නැහැ නිලූශි ...තාම නැහැ...අනේ මන්දා...නිලූශි කරදරයක් නැත්නම් මට පුංචි උදව්වක් කරන්න...


කියන්න අරවින්ද කියන්න...


මට මෙන්න මේ නොම්මරේට කෝල් එකක් අරන් දෙන්න...වෙනුර මහත්තයත් දැන් එක පාරක් ගත්තා...


ඇය හනිකට එම ඇමතුම ගන දුනි....


මෙන්න අරවින්ද කතා කරන්න....


මා හනිකට රිසිවරය ගෙන කතා කලෙමි....


මාමේ මම මේ අරවින්ද...කරදරයක්ද මන්දා මාමාට...


අනේ මොන කරදරයක්ද...මම මේ ඔය නොම්මරේට ගන්න කියලා හැදුවා විතරයි.....තැපැල් මාමාගේ හඩ යාබදු වී තිබේ...


මක්කැයි මාමේ...අපේ මාමාලා එන්නෑ කියලා පයින්ඩයක්වත් එවලද?


අරවින්ද ළමයා කලබල එහෙම වෙනවා නෙමෙයි ඔන්න....


තැපැල් මාමාගේ එම වදන් පෙලත් සමඟ මාගේ සිරුර කිලි පොලා ගිය සෙයක් විය....


ක්..කි...යන්න මාමේ...මා අපහසුවෙන් වචන එකතු කර ගතිමි...


සූරි බණ්ඩාරෙගේ අප්පච්චිගේ ඉරිඟු ටිකත් චන්ද්‍රසිරිගේ ට්‍රක්ටරේ පටවන් ඇවිත් තියෙන්නේ..මහා ලෝඩ් එකක් තිබිලා නොවැ..


ඉතින් ඉතින් මාමේ.....


අර සූරිගේ දෝනියැන්දත් හිටලා තියනවා...සූරිලා බන්ට් එකේ එද්දි බර දරාගන්ට බැරිව ට්‍රක්ටරේ පෙරලිලා...සූරිවයි කෙලීවයි ඉස්පිරිතාලේ ගෙනිහින්...චන්ඳ්‍රසිරිට තුවාලයක් නැහැ...සූරිලාටත් අච්චර අමාරුවක් නැහැ..අර දැරිවිගේ අතක් කැඩුනු කතාවක් තමයි සිරිමලා... කීවේ''







No comments:

Post a Comment

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..