Showing posts with label කෙටිම කෙටි කතා. Show all posts
Showing posts with label කෙටිම කෙටි කතා. Show all posts

Thursday, 9 February 2012

මගේ මරණය....









පාන්දර හතරටත් කලින් මට එළියට යන්න හිතුනේ මොකද කියලා මටම හිතාගන්න බැහැ...සීතල ඕනෑවටත් වැඩිය සිරුර වෙලාගෙන..මෝටර් රථයට ගොඩ වුනේ කට කට ගාලා ගැහෙනවත් එක්ක...මම කොහොමත් කැමති වාහනේ වේගය උපරිම මට්ටමින් තියනවට...මම ඒක නිතරම පවත්වාගෙන ගියේ මම ගැන තරමක උජාරුවකිනුත් එක්ක...අතුරුපාරකින් ප්‍රධාන පාරට එකතු වෙද්දි වාහනය තිරිංගත් සමඟ තරමක් ඇදිලා යන විදිහට තමයි වංගු වලදි මම ක්‍රියා කරන්නේ සමහර විට ඒක තරුණ කම වෙන්නැති...නැත්නම් ආයතනයෙන් නොමිලේ ලැබුණු වාහනය නිසා වෙන්න ඇති...

අදත් පුරුදු විදිහට වාහනය ගේ ඉස්සරහා අතුරුපාරෙන් ප්‍රධාන පාරට එකතු කලා විතරයි....හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ..වේගයෙන් ආපු මහ විසාල ලොරිය නැවතුනේ මගේ මෝටර් රියේ වැදිලා ඊටම අමුනගෙන තරමක දුරක් විදුලි කණු කිහිපයකුත් කඩාගෙන ගිහින් තාප්පයකුත් කඩාගෙනයි ...

හරිම පුදුමයක් මට මාවම පේනවා....මට මේක අදහා ගන්නත් බැරි උනා....මගේ හිස් කබල කොටස් කිහිපයකට කැඩිලා...අසුන් පටි නොපැළඳ සිටි මට එහෙම උනු එකත් පුදුමයක් නෙමෙයි..එයාර් බෑග් ක්‍රියාත්මක වෙලා තිබුනත් ලොරියේ ඉදිරිපස කොටසෙත් හිස් කබලේ කොටස් තිබුනා..තාප්පයේ හෝ විදුලි කණුවේ කම්බියක් නළල පසාරුකරගෙන අර කැඩිච්ච හිස් කබල අතරින් ගිහින්....මම මැරිලද ?මම මගෙන්ම විමසුවා...වෙන්නැති හිත කිව්වේ එහෙම...






මගේ කකුලක් තිබුනේ සුනුවිසුනු වෙලා...මටම හිතුනා මේ තත්වෙන් ජීවත් නොවුනු එක හොඳයි කියලා.....

පාන්දර නිසා මිනිස්සු අදාල ස්ථානයට එන්න තරමක් වෙලා ගියා..

පොලීසිය,වෛද්‍ය කණ්ඩායම් ආවේ මහත් වේගයකින්...ලොරියේ රියදුරා හිටියේ බිරාන්ත වෙලා..

පොලීසියත් අනිත් අයත් විශාල වෙහෙසක් දරා සිරුරු කොටස් ඉවත් කලා...

අම්මෝ...මේ මමද?....මම මගෙන්ම විමසුවා...

එක්වරම මාව යම් දිසාවකට ඇඳගෙන යනවා වගේ දැනුනා...මට මේ තත්වය හුරු නැති නිසා මමත් ඔහේ යන්න ඉඩදීලා බලාගෙන හිටියා....

මහා විසාල ශාලාවක්...කිසිම දෙයක් නැහැ...දුරම දුර යාන්තමින් එළිය එන කවුළු කිහිපයක් තිබුනා..මම ඒ එළිය තිබුනු දිශාවකට ගමන් කලා...

ඔහොම නවතිනවා...ඒක මහ දරුණු අණ කිරීමක්....

කිසිවෙකුත් පේන්න නොහිටියත් හිත තද බියකින් වෙළුනා......

මම නැවතුනා....

තමුන් ඔය කොහේද යන්නේ.......

ආගන්තුකයා විමසුවේ එවර තරමක් සංසුන් ලෙසට...

දන්නෑ.....මම පිළිතුරු දුන්නේ අසංවරව කැඩුනු අකුරු එකතු කර....

ගන්ධබ්බයා...දැන් තමුන් ගන්ධබ්බයෙක්....මැරිලා ආත්මයක් හොයන මිනිහෙක්....මේ හැම දේටම කලින් ගෙදර යනවා...දෙන පින් ගන්නවා...

ආගන්තුකයා කීවේ නිවුනු හඞිනි...

මම කොහොමද යන්නේ...

මම විමසුවේ සැබවින්ම නොදන්නා බැවිනි...

හිතන්න හිතන තැනට යාවි....පින් තියනවානම් හොඳ වාසස්ථනයක් ලැබේවි...

මා දෑස් වසා නිවස ගැන සිහි කලෙමි..

සැනකින් මා නිවසේ මිදුලේ නැවතීමි...

නිවස පුරා බොහෝ අය එක් රැස්ව සිටි අතර මාගේ මිතුරන් විශාල පිරිසක්ද විය..

අනේ පවු බං අහින්සකයා...මිතුරන් එලෙස කියනවා මා පළමු වර ඇසුවේ එදාය...

මිතුරන් හඬයි වැලපෙයි..මවුපිය පාර්ශවවල  සියල්ල එකතු වී තිබේ..

සිරුර නිවසට රැගෙන එන විට රාත්‍රී දහයද පසුවී තිබින....අඳෝනා බොහෝ වැඩිවිය..

සංවිධායක කමිටුවක්ද පත්ව සිටි අතර හිතවත් හාමුදුරුවරු කිහිප දෙනෙක් එහි පෙරමුන ගෙන තිබිනි...

රාත්‍රී දෙළහා පමන වනවිට සිටි පිරිස ඉතා විශාල විය..ඒ අතර පහල වත්තේ සිරිපාල මාමාද විය ...අපි බූරු පිටියක් දාමු....ඔහුගේ බසට බොහෝ දෙනා කීකරු විය.....සීයට තිහක් තොන් ගමු..තවකෙක් යෝජනා කල හෙයින් එයද සම්මත විය..

මාගේ කාර්‍යාලීය මිතුරන් කිහිප දෙනෙකු දුක තුරන් කරගන්නට මගේ කාමරයේම මදුවිත සූදානම්කර තිබේ...මා ගිජුව එදෙස බැලූවෙමි......

අල්ලපු ගමේ සෝමා අක්කා සංග්‍රහ කටයුතු භාරගෙන තිබේ..හොරෙන් ඉඳහිට තාප්පයෙන් එහා පැත්තට සීනි..තේ කොළ විසිකරනවා මා බලා සිටියේ විමතියෙනි...මා තාප්පයේ අනෙක් අන්තය බැලීමි..

අහ්....සෝමක්කගේ කෙල්ල එහා පැත්තේ.....මේ දෙන්නා අපූරු නාඩගමක් පටන් අරන්...මම සිනාසුනෙමි


අම්මා හා පවුලේ ඥාතීහු කිහිප දෙනෙකු පමනක් හෘදයාංගමව දුක් වූ බවක් පෙනින...අයියා අයියාගේ බිරිඳ සමඟ මට හිමි ඉඩම ඔවුන්ට අයත් බව පවසා එය ඔවුන්ගේ ඉඩමටම ඈඳවා තාප්පයක් බඳින අයුරු කතිකා කරමින් සිටියේ දැඩි අද්දාමයෙනි..

අක්කා මස්සිනා සමඟ සාකච්චා කලේ අම්මාව මැදිහත් කොටගෙන රක්ෂණ වන්දි මුදල ගැනීම පිළිඹඳවය...


එහි විශාල මුදලක් වන බවත් ඉන් මෝටර් රියක් මිලදි ගන්නා අයුරුත් ඔවුන්ගේ කතාවල විය...

මේ සැම අතර තුර බූරු පිටිය ඉහල මට්ටමින් පැවතිනි..දහසේ මොණර කොළ එහෙමෙහෙ ගියේ ක්ෂණයකිනි....

මාගේ මිතුරන් දැන් පඳමට බමන මතිනි..මළ ගෙදරට පැමිනි සියල්ල අතරේ ලොකු මාමාගේ දුව මගේ මිතුරෙකුට ඉඟි බිඟි පායි..කවුරුන් හෝ දුටු පමණකින් දැසේ කඳුළු පුරව ගන්නා ඇය දැඩි ශෝකි බවක් මුවින් පල කරයි...

මේ විගඩම් මා මල පසුම සිදුවීම පිළිඹදව මම අතිශය සතුටු වීමි....සැබවින්ම මා මියයාම පිළඹඳව මා අසීමිතව සතුටුවීමි.....මළගෙයද අවසන දානය හා බණද අවසන් වන තෙක් මා සිටියේ මේ නිවසේ දැඩි අප්‍රසන්න භාවයෙනි...

කලකිරීම හිතේ තදින්ම සනිටුවහන්ව තිබුනි...මේ ජීවිතේ මළ පෙරේතයෙකුටවත් ඉන්න හොඳ තැනක් නෙමෙයි...මා මටම කියා ගතිමි..

යලිත් මා සුපුරුදු ශාලාවට ගියෙමි...

ඉහත කී හඬ යලිත් මා ඇමතීය...

තමුන්ට ආයෙත් මනුස්ස ලෝකෙට ඉක්මනින් යන්න පින් ලැබිලා....ඔහු කීවේ සැහැල්ලුවෙන්...

මනුස්ස ලෝකෙට....අනේ මට එපා...පින් සිද්දවෙයි අපායට හරි ...වෙන ඕන තැනකට යවන්න ....මම බැගෑපත් වුනෙමි.....


Friday, 20 January 2012

ගිණි කඳු..





ඉර සෑම දිනකම හැන්දැව අරගෙන එන්නේ අම්මාගේ පිරිත් හඬ සමඟය..එය ලයාන්විතය,සවන සැහැල්ලුවෙන් පිරිමදියි..පිරිත් හඬ කටු මැටි නිවස වටාද ඉනික්බිති කඩුල්ල පැන වෙල් දෙනියටද දුවයි..ඉද්ද  ගස ඊටම සැරසී සැම සවසකම නෙලන්නට මල් උදෑසන පුබුදුවයි...පොල්තෙල් සුවඳට සඳුන් දුම මුසුවූවිට නිවස පන්සලක සිරි ගති...පන්සල් සුවඳ ගනී..අම්මා කියු නැලවිලි ගී සිහි කැන්දමින් බොහෝ රාත්‍රී වලට නින්ද කැන්දන්නේද එහෙව් පිරිතය.



"මොන කංකරච්චලයක්ද...හැමදාම හය වෙන්න නැහැ පටන්ගන්නවා..ඔය කියන දෙයක් අනිත් අයට කරදරයක් නොවෙන්න කියන්න"....


අක්කා නිවසේ අදිපත තම අතට ගැනීමට පළමු වෙඩි මුරය තැබීය.


විද්‍යාපීඨ අධ්‍යාපනය නිමවා අක්කා ගමට පැමිණියේ පළමු පත්විම උපන් ගමටම ගෙන පැමිනීමේ වාසනාවද සමඟය..මුත් අක්කාගේ උගත් බව උද්දච්ච බවක් වී තිබුනි..


ලොකු දුවේ මං මේ පිරිත් ටිකක් කිව්වේ උඔලැම යහපතට නොවැ....අම්මා එසේ කීවේ දෑස් කුඩාකරමින් බොහෝ හැඟුම් බරවය..


මට පාඩම් කරන්න තියනවා..දවස තිස්සෙම ඉස්කෝලේ ළමයින්ගේ කං කරච්චලේ..ගෙදර මේ සමයං...


අම්මාගේ දැස කඳුලින් තෙත් විනි..


අම්මාගේ දෑසේ මෙතරම් ලොකු කඳුළු කැට මින් පෙර මා දැක නොතිබිණි


"පාහර බැල්ලි" මා ජීවිතයේ පළමුවර අක්කාට එරෙහිව නැගි සිටියෙමි...


'"මද්දු කට වහපං"


අම්මා දැඩි ස්වරයෙන් එසේ කීවේ මා හා අමනාපයෙන් නොව මා අක්කා හා ගැටීම වලක්වනු පිණිස බව මා දනිමි..


මා නිහඬවීමි.


එදිනෙන් පසු අම්මාගේ පිරිත් ස්වරය සිහින් කෙඳිරුමක් විය..එය දෙතොල් හරහා පිටත වා තලය වෙනදා තරම් මටසිලිටුවට ස්පර්ශ කලේ නැත.


අම්මාගේ පිරිත් ස්වරය සිහින් ඉකිබිඳුමක් කල අක්කාට මා හදවතින්ම ශාප කලෙමි.


"අක්කා මාරුවක් හදාගන්නට යන විත්තිය මා දැන ගත්තේ ග්‍රාමසේවක මාමාගේ මාර්ගයෙනි...අවම පහසුකම් තිබෙන පාසලක් බැවින් වෙනත් පාසලක් ඉල්ලා අක්කා අයදුම්පත් යොමුකොට තිබිණි.


අම්මා මේ බැව් දැන පුදුම වූයේ නැත..කෙල්ල දැන උගත් එකී ..අපිට වගේ නෙමෙයි අක්කට යමක් කමක් වැටහෙනවා.


අම්මා එසේ කීවේ හිත සාදාගැණිමටම බව මම දණිමි.


කාශ්ඨක පොලවේ ලද ජීවිත පණ්නරය හමුවේ අම්මා මෙවන් දේට නොසැලී සිටිම පුදුමයක් නොවේ..


ඔන්න ඔහේ ගියාවේ...මා මටම කියා ගතිමි.


මාස කිහිපයකට පසු අක්කා නව පත්වීම ලැබ ගම අතැර ගියා ය.


පිරිත් හඬ නැවත ගේ පුරා දෝංකාර දුනි...කලකට පසු වැසි වැස්සා සේ හිත පිරි ඉතිරී ගියේ දැඩි සතුටකිනි..


අනේ ලොක්කිට මම මේ සෙත් පතනවා...අම්මා කියන්නේ නැවතත් දෑස් තුල කඳුළු පුරවමිනි..


මට අම්මගේ හිත තේරුම් ගන්න බැහැ..මම මටම කියාගතිමි...


දුරුත්ත නිමවෙන්නටත් මත්තෙන් අක්කාගෙන් ලිපියක් විය...අක්ක කසාද බඳින්න යනවලු. අම්මා එසේ කීවේ දැඩි ශෝකයකින් නොවේ...


මෙච්චර ඉක්මනට.....


මා විමුසුවේ අම්මාටත් වඩා ශෝකයෙනි...


මෙච්චර ඉක්මනට ....අක්කා මොකක්ද මේ කරන්න හදන්නේ..අපිට රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්න බැරි කරලා තමයි මේකි පස්ස බලන්නේ .....


අපිට එන්න කියලා නැතෙයි......


අම්මා විමසන්නේ එතරම්ම උවමනාවකින් නොවේ..


නැහැ බඳින විත්තියක් විතරයි තියෙන්නේ...දිනයක් එහෙම නැහැ..අපේ මොකෝ කැමති දෙයක් කරගත්තාවේ..


මා එසේ කීවේ අම්මා සනසවන්නටය.


හ්ම්...අම්මා ඉන් ඉදිරියට කිසිවක් කීවේ නැත.


මේවා ගම්මු දැනගත්තු දවසට අපි පාරෙ බැහැලා ඉවරයි.....
_______________________________________________


දිනෙන් දින ගෙවිණ......දුරුත්ත නිමාවූයෙන් අක්කා මේ මස බඳීවීයි හිත කිය..


අක්කා කරනා දෙයින් ගමට පාසලට මුහුන දෙන්නට නොහැකිවන්නේ මටය..මා හදවතින්ම අක්කාට ශාප කලෙමි...


දිනක් උදැසන නිවස ඉදිරිපිට නැවැත්වූ කුලි රථය දැක අම්මාත් මමත් වික්ෂිප්ත වූයෙමි.


අම්මා සිටියේ පොල්ලතු වියමිනි...මා සිටියේ ඊට තරමක් නුදුරිනි..


අක්කා මඟුල් ඇඳුම පිටින්ම කුලී රියෙන් බැස නිවෙස තුලට දිවගියේ "අර කාලකන්නියා මාව රැවැට්ටුවා..අද වෙන එකියක් එක්ක පැනලා ගිහින් කියමිනි.."


මමද අම්මාද කුමක් කල යුතුදැයි මුහුනට මුහුන බැලීමි..අම්මා ගනනකට නොගෙන යලිත් පොල් අත්ත වියන්නට විය...


පොල්අත්ත පසෙක තැබූ අම්මා නිවස තුලට පිය මැන්නේ දැඩි කලකිරීමකිනි....


ලොක්කියේ අර කොල්ලට යන කලදසාවක් තියෙන් ඹ්නේ...කොල්ලා කොහොමද පාරෙ බැහැලා යන්නේ ..පිං සිද්දවෙයි අර ගියා වගේ කොහේ හරි  පල....උඔට ලැජ්ජාවක් නැති උනාට අපිට තියනවා..කාලකන්නි බැල්ලි....අපේ මූනේ තෝ දැලි ගෑවා..


අම්මා මෙතරම් දරුනු ලෙස හැසිරෙනු මා දුටු පළමු අවස්ථාව මෙයයි ..කවරදාකවත් නුදුටු ගිනි ජාලාවක් අම්මාගේ දෑසේ මැවි තිබිණි..


කැත්තගෙන මිදුලට පැමිනි අම්මා මායිමේ තිබුනු  එරමිනියා පඳුර සුනුවිසුණු කලේ"පොළවේ සාරෙ උරාගෙන මෙව්වනම් යසට හැදෙනවා" කියමිනි.


අක්කා නිවසින් නික්මිනි...කඩුල්ල පනින්නට ඔන්න මෙන්න තබා නැවත අම්මා අක්කා අමතා...


"ලොක්කි ගෙට පල...උඔට ඹ්නේ විදිහට නටන්න හදනවා නෙමෙයි..."


අක්කා නැවත නිවස තුලට පියමැන්නේ බිම බලාගත්වනමය...


පසුව සෑම සවසකම පිරිත් ස්වරය වෙල් දෙනිය හරහා වැව් දිය පිරිත් කලේ කවදාකවත් නැති ශාන්ත බවකිනි.

Sunday, 15 January 2012

මඟහැරුනු කඳුළ.........


.
අඬන්නටේ කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත...අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..."අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන...

මොනා කරලද මෙදා පාර..

වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...

උසාවි දාලා තියෙන්නේ කවදටද?

මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...

පව්......මා එසේ කිවා නොවේ කියවිණි...

අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ..පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ..සෝමෙ අක්කට දිලා රුපියල් පන්සියක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා...මල්ලිව බලා ගනින්..

කරුනේ මාමා තාත්තව එළියට ගනිවි..මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...

මා කටින් නොකිව යුතු යමක් කියවිණි..

මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම...දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...

හ්ම්.....

මා කිසිවක් කියන්නට ගියේ නැත..

මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි...කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා...තූ නොදෝකින් පාහර හැත්ත...

මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මද සිනාවකිනි...

හ්ම්..නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....

අහිංසකයා...මා මල්ලි ගැන දුක් වුනෙමි..

තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් උවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමි...හේතුව ලැජ්ජාව විය යුතුය..අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්‍රශ්ණ කලෙමි...

මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය...කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි...පසුව දර මිටිද..සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි..පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි....පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි..මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය..හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි...හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබු පසුවය..

තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි..එයද කුකුල් නින්දකි..වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි...පොලීසිය ,.උසාවිය..මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත..එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි..සියළු නිළධාරීන් හොඳින් හඳුනයි...මුත් කිසිදු පිළිගැණීමක් නැත...

තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත..හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...

තාත්තා බේබද්දෙකු නොවේ..නමුත් නොබොන්නෙකුද නොවේ..අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත..ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..

මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි...තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි..අන් සියල්ල අප වෙනුවෙන්මය.අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය..කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත..අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ..කැමට යමක් වැරදුනේ නැත..කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..

අම්මා නැවත පැමිනියේ  රුපියල් පන්සියයක්ද අතැතිවය...

අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?

මොකද උඔ දෙන්නද?

නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?

ඔය බොලගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක..උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ ..අම්මා හූල්ලයි..

කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..

විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...

නෑ මුකුත් නැහැ...අම්මා යන්න පරක්කු වෙයි....

මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....

අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.

අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්‍රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි..රුපියල් විසි හය දහසක් එහි විය...

තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපැස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා...පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්....මේ අපේ තාත්තා..අපිට වෙන කවුරුවත් නැහැ..තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..

රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි ..හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය...සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි...අම්මා ගෙදර පැමින නැත...මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..

හතර පසුවිය...අම්මා හෝ තාත්තා තවම නැත..හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...

හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....

කෝ අම්මේ තාත්තා...

අම්මාගෙන් පිළිතුරක් නැත...

කෝ අම්මේ අපේ තාත්තා.....මම කෑ ගැසීමි.....

උඔලෑ තාත්තා එන්නෑ පුතේ....අම්මා මට පුතේ කී පළමුවර එයයි..

මොකක්ද වෙලා තියෙන්නේ...කියන්න....මම බැගෑපත් වුනෙමි...

කිසිවෙකු කිසිවක් නොකියයි......

කියපිය යකෝ තාත්තට මොකද උනේ..

පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...

මා සිහි විකල් විය..

පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..මම මහ හඬින් කෑ ගැසිමි..

උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා...තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා..අපි දෙයියෙක්ව මරාගත්තා...අම්මා මොර දෙයි..
අපි උඔලගේ තාත්තව තනි කලා....තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා...ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ...ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා...උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා....මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය...උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා...අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ ..එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....

පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..

මා බයිසිකලයේ පැටලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය. ..
 

Friday, 13 January 2012

තුරු එනතුරු.....








සරත් සමයේ වැටුනු තුරු පත්

සොයනවා සුළඟක්...

යලිත් එසවී මදක් ඉහළට

වසන්තය එන මං බලන්නට.....




නැතේ අනුකම්පාවක් සුළගත්

හමා යයි වෙනතක......

නැහැ වසන්තය මෙදා පාරත්

අරන්විත් ඉක්මන් වැස්සක්....




පේන නොපෙනෙන තරම් දුරකින්

මල් පිපී දුලනා අකලට......කොහොම ඉවසමි

මට නොමැති කල වසන්තය නැවතත්

පොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්.......

කුස වුණු පබාවතී...





මං ජයම්පතී නොවේ

මුත්

ඔහු කුස රජු උනාවේ.....



පබාවතිය නුඔ
ගනු බොහෝ වැඩ රාජකාරි....



මං බලන් ඉන්නම්

සත් වස නිමවෙනා තෙක්


ගෙවදිමු....



කුලී මාළිගාවට......



නුඔ කුස නොවී සිටියොතින්

කුස රජ්ජුරුවන්ට දාව......



ඇඹිල්ල ඇටයකුත් වදාවි

මහ විසාල වෘක්ෂයක්.....
..........................................................................
ප.ලි

අජාසත්තම වදාපන්

මරන්නට පිය රජ...
.

බෝ මෙලෙසට.......



 
බෝ පතක් සැලී
නැහැ වැටුණි බිම....

රැකගතිමි

දෑත් අතර වෙයි තවම නැවුම් එය...

පෑගිච්ච
 මුල් දිහා
නැත හෙළා තවම නෙත්......

මුත්
 සතුටකී හිතට
බෝ කොළය දෑත් මත.... 

Wednesday, 11 January 2012

සබඳ අපි පතොක් වෙමු..!!





..
පතොක්  හටගනුයේ නිස්සාර භූමියේය..කාෂ්ඨක කතරේය...පතොක් හී අපූර්ව දයාබර පෙනුමක් නැත...හැඩ ගැසි තිබෙන්නේ සැඩ හිරුට පෙම් බඳින්නටම ය...

පතොක් ගස කුමන හෝ සැපතක් පතන්නේ නැත...ලබන්නේද නැත...ඉල්ලන්නේද නැත..ලැබෙනා දේ විඳියි...අහස කතරට වැහි දිය එක් කරයිනම් පතොක දිය බිඳක් බි ගනී..ඉනික්බිති කලාතුරකින් ලත් දිය තමා තුල පැළ පදියම් කර ගනි..එය ජීවිත කාලයකට ප්‍රයෝජනයට ගනී...නොවැස්සා කියා අහසට දෙස් නොතියයි...


පතොක් ගස බොහෝ දුක සේ වැඩෙයි...හිරුට දොස් කියන්නේද නැත...කලකදී බොහෝ සුන්දර මලක් හෝ කිහිපයක් දරයි....විඳි දුක පෙන්වන්නටදෝ බොහෝ කටු රඳයි...කටු අග විශද එක් කොට ගනී.බොහෝ වෙහෙස ගෙන පිපිදවූ මල සුරකියි....නෙලන්නට එනවුන් වනසයි.....


සබඳ අප පතොක් වෙමු...විඳි දුකට ශාප නොකරමු...!! දරමු මල් ....එලෙසම රැක ගනිමු..!! සබඳ කුමට  තවත් අනුකාරක...මේ ජීවිතයට පතොක් ගස හැර...!!

Sunday, 8 January 2012

මැණික් මාළිගා (වාසලට නොවේ..)



රං බණ්ඩේ පුරසාරං කාරයා වාසලෑත්තෝ මට මනාපයක් නැහැ..මැණිකා කියන්නේ තරමක ලාලිත්‍යයෙනි..


මේං අම්මාපල්ලා මං මුසාවක් කීනවා නෙමෙයි..අදත් මීට දෙතුන් දොහකට එපිටත් මයෙන් විපරං කොලා බොලා ගැන....මං ඉතින් කියන්ට ගියේ නෑ තෝ කණවැන්දුම් එකිය කියලා ..


මක්කැයි රං බණ්ඩේ එහෙම නොකීවේ...


මැණිකා විමසන්නේ මා එබැව් සහ සුද්දෙන්ම නොකී බව සිතාය


මට මක්කටෙයි මැණිකෝ අනුන්ගේ එව්වා...බොලට හරි යනවා කියන්නේ අපිට හරියනවා කියන එක නොවැ.


අනේ මක්කට කියනවාද? 


අනේ අම්මපා මේකි කිඹුල් නෑම්බි වගේ කිරිමැටි ගිල්ලත් උද්දච්ච කම නම් අඩු වෙන්නෑ...ඔහේ පල...


බැද්දේ යද්දි එද්දි බලාගෙන පල තොපිලව සතා සරුපයා කාවි...අනේ මගේ කට...කොයි කාරුත් බලන්නේ මොකින් මොක දීලා හරි කමක්නෑ කාසි පොට්ටනි ගහන්න....


මැණිකා හැබැවට ගත්තැයැ මයේ විහිළු...මම කිඹුල් කතාව ඔච්චමට නොවැ කීවේ...


මැණිකා හැබෑ හැඩ ගැහැනියකි...මැණිකාට වශී නොවන පිරිමියා පිරිමියෙකු නොවේ...


අනේ බලහල්ලකෝ වාසල දැන් ගරා වැටෙන්නේ යන්නේ..සුද්දා රට ගත්තත් හරි අපේ උන්දැට අර මක්කැයි එක පස්ස පැත්තේ ගහගන්ට උනේ නැතෑ..මුන්දැගේ වනචර කමයි පුරාජේරුවයි තවම අඩු වෙලා නැහැ...


දැන් තොපිලම නේද බොල වාසලෑත්තගේ පුරාජේරු දෙසා බෑවේ? දැන් තොපිලම උන්දැට පහරනවා..වැසලෑත්තෝ නැතිබංගස්තාන වෙන්නේ තොපිලට වාසලේ ලැග්ගගෙන ඉන්න නිසා වෙන්ටෝනේ....


මැණිකා කථා කරන්නේ ඔච්චමට සිනා වෙමිනි..


මං කෝමද මැණිකෝ තොපිලා උන්දැට දීලා හිත් පොජ්ජ වාවලා ඉන්නේ..පැලිලා මැරේවි...මේං දැනුත් හෝස් ගානවා...


මා එසේ කීවේ නැත...මැණිකා ඉදිරියේ එතරම්ම විවෘත වීමට මා දන්නේ නැත...මා මැණිකා ඉදිරියේ කුලෑටි ය.


රණවරා ටිකක් රත් කරලා දියල්ලා බොල..මයේ තොළකට සේරම වේළිලා...මේ මද්දහනේ එහෙ මෙහෙ කරක් ගහලා..


ඔහොම හිටු මම ලිපේ තියලා එන්නං..බුලත් විටක් කෑවනම්..


හ්ම්.....


මැණිකා කුස්සියට යනු මා බලා සිටියේ තරමක රාගාන්විතවය...මුත් මා මැනිකා දුටු තැන මා යලිත් සුපුරුදු රං බණ්ඩේ වෙමි..


කොහොමද රං බණඩෝ උඔලෑ වෙළදාම් කාරිය..


අහේනියක්ම නැහැ..මං මේ කරත්තයක් ගන්ටේ කියලා...බස්නාගල දිහෑ තියනවා කියලා කීවේ..මුදලි පට්ටමක් තියන එකෙක්ගෙලු ..ගිහින් බලලා ගන්ටේ කියලා...දැන් පයින් මංගැච්චුවා තිත්තයි..


අප්පේ රංබණ්ඩට දැන් සරුයි වගේ......මැනිකා තරමක් ලෙංගතුවී තිබෙනා හැඩයි..


එහෙමටේ කියලා නැහැ..නමුත් මටේ කියලත් මොනා හරි තියෙන්ට එපෑයැ....ගෙපැලේ වැඩ රාජකාරිත් අහවර එකේ කරත්තයක් ගන්ටේ කියලමයි හිත..දැන් සුද්දා කුරුඳු ..තේ..මුලු දිසාවෙම දාලා නොවැ..ඉතින් කරත්තයක අගේ තවත් වැඩියි...


කෝ බං රණවරා.....මයේ බඩ පපුවත් දනවා...


මැණිකා නැවත කුස්සියට ගියේ අමතක වූවා සේ හනි හනිකටය...


ඉඳා මේං හකුරු කෑල්ලකුත් තියනවා..


මැණිකා හකුරු කෑල්ල අතට දෙනවා වෙනුවට පිල මත වූ බංකුවේ තැබී ය..


මේකි මහ උද්දච්ච එකි...මා මටම කියා ගතිමි...


මිනිහා මැරි දෙතුන් අවුරුද්දකි..මුත් ගං තුලානේ කයි කතංදරයක් නොඅසා සිටියානම් මැණිකා පමණි..එසේ යමෙකු දොස් කීවානම් නියතවම මැණිකාගෙන් විසීමක්ද නැත....


 මැනිකෝ මං මේ යන්ටේ කියලා අර පොට්ටනියේ කලහලමනා ටිකක් වෙන්ට තියනවා බොලැ අම්මන්ඩි පහුගිය දොහෑ හොයපු බෙහෙත් කලමනාත් තියෙයි..එව්වත් උන්දැට දුන්නනම්...


රංබන්ඩේ  උඔටල පිං සිද්ද වෙනවා මේ කරන උදව් වලට...දැං මේ දෙතුන් අවුරුද්දේ උඔලා නොහිටින්ට අපි මැරිලා කාලාන්තරයක් වෙනවා.. 


මං යන්නං මැණිකා..පරිස්සමින් හිටපං..


රං බන්ඩේ යන්නදෑ මෙච්චර විගහිං..තාම මද්දහන පහුවෙලාත් නැහැ නොවැ..


මැණිකා මා නැවැත්වූ පළමු අවස්ථාව  මෙයය...


ඉන්ට අද මං පොළොස් මාළුවක් එහෙමත් හැදුවා රංබණ්ඩේත් මනාපයි නොවැ...


මැණිකා මා හිත මනාපකංද දනී..මැණිකා ද මා මෙන් මා ඉදිරියේ කුලෑටි වී සිටියාවද්ද?


හොඳයි යසයි...එහෙනම් මොනා හරි කාලම යමු....


ඉන්ට මං ලෑස්ති කොරන්නම්


මැණිකා......මා සෙමෙන් ලයාන්විතව මැණිකා කී පළමු වර මෙයයි..


හ්ම්...


මැණිකා එනවයි අළුත් කරත්තේ ගෙනහපුවාම මයෙත් එක්ක දළදා වඳින්ට යන්න....


මණිකා සිනාසුනි.....මා ජීවිතයේ කිසිදුවර ගැහැනියක එවන් ප්‍රේමාන්විතව සිනාසෙනු දැක නැත....


රංබණ්ඩා ගෙපැලේ වැඩ ඉවර කරලා නොවෑ තියෙන්නේ..අපි ගෙවිදිලාම දළඳා වඳින්න යමු.....


අයියනායක දෙයියන්ට ඔප්පුවෙන්ට මැණිකා මක්කැයි ඔව්වා කලින් නොකීවේ....මා පැවසුවේ ඉහ වහ ගිය සෙනෙහසිනි.......

තනි සපත්තුව (සින්ඩරෙල්ලා නොවේ)


හිත වෙලාවකට හරිම පුදුමයි...හොයන තරමක් හොයන්නේ..ඉල්ලන තරමක් ඉල්ලන්නේ නොලැබෙන දේවල්...පුංචිම පුංචි කාලෙදි කළුතර ටවුම මැද්දේ මට අරක දෙන්න මේක දෙන්න කිය කිය බිම වාඩිවෙලා කෑ ගගහා මහ හයියෙන් හැඬුවට අනාගතයට එහෙව් පුරුදු මම ගෙනත් නැහැ...කාලයක් පුරුදු වුණා දුක සතුට දෙකම ලැබෙන විදිහට භාරගන්න...තවත් කාලයකදී දුකමත් තවත් කාලයකදී සතුටත්ම ලබන්න පුරුදු වෙච්ච හිතට හුඟාක් සිතුවිලි අළුත් උනේ නැහැ..හිත තෙම්මරාදු වෙලා වෙලාවකට එහෙමත් හිතුනා..


කාලයත් එක්ක මට එයා ව හම්බවෙන්නේ හරිම අහඹු විදිහට.. රැඩිකල් කියලා මුලින්ම හිතුවත් ඊට එහා ගියපු මොකක්දෝ ලස්සන ගැහැනු කමක් එයා ලඟ තිබුනා...මම අසීමිතව එහෙව් දුර්ලබ ගැහැනු කමට ලං වුණා...පහුගිය කාලේ හුඟාක් සුන්දරයි..මේ පාලු කාන්තාරේ පුරාවටම නානාමාදිලියේ මල් පිපිලා තිබුනා..එක එක විදිහේ ගස් හැදෙන්න ගත්තා...දූවිලි පළසට උඩින් අපූරු තණ පළසක් වැටුනා..මමත් හිතුවා මේ වසන්තය කියලා..


මම එහෙම හදිසියේ පැමිනි වසන්තයේ සනීපෙට සැරිසැරුවා...ඉර අහසේ තිබුනට එළිය විතරමයි දුන්නේ සැඩ රස්නේ...උහුලන්න බැරැ උණුහුම කවදාකවත්ම දුන්නේ නැහැ...


අපි කවමදාකවත් හමු වුණේ නැහැ...නමුත් අපි හැමෝටම වැඩිය හිතින් බැඳිලා හිටියා....සමහරු විහිලු කලා ඔන් ලයින් ප්‍රේමයක් පමණයිම කියලා....නමුත් ඔයාලා දන්නවද අපි හුඟාක් දුර ගියා...අවුරුද්දකට කිට්ටු කාලයක් අපි අපේ ලඟමයි හිටියේ..සත්තයි..ලඟ ඉන්නවට වැඩිය අපි බැඳිලා හිටයා..


අපි පහුගිය හැම දවසකම හුඟාක් සතුටින් හිටියා...හැම තත්පරයක්ම අපිට නැවුම් උණා...දවසේ නිදාගන්න පැය කිහිපය හැරුනාම හැම මොහොතෙම එයා මගේ ලඟම හිටියා..රෑ හීනයක් අරන් මගේ ලඟ හිටියනම් එයාම විතරයි....


අපි කතාකරපු තරමට එකට හිටපු තරමට අපිට අපේම කටවහ වැදුනද මන්දා...පහුගිය සතිය හැම වැඩක් එක්කම මට එයාව ටිකක් මඟහැරුනා....


පහුගිය දවස් කිහිපය වෙද්දි එයාටත් කවරදාකවත් නොතිබුනු වැඩ ...ගමන් බිමන්...පංති....මෙකී නොකී දහසකුත් වැඩ...අද වෙද්දී හොයාගන්නවත් නැති තරමට වැඩ....


මම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුනා...ඔන් ලයින් ප්‍රේමයක පරමායුෂ සිග්නල් තියනකල් විතරයි.......


මම සහ මම දෙන්නෙක් කරන්න එයාට පුළුවන් වුනේ බොහෝම කෙටි කාලෙකින්....මගේ එක කොටසක් එයා උණා....


දැන් මම තනි සපත්තුවක් අරන් හැමතැනම  සින්ඩරෙල්ලා හොයනවා.....දන්නවද සමහර විට සින්ඩරෙල්ලා  තනි සපත්තුව අතෑරලා දාලා අළුත් සපත්තු කුට්ටමක් ගන්නෑති...මොකද තනි සපත්තුවේ අගය තියෙන්නේ බොහෝම ටික දෙනාටයිනේ....එහෙම උවමනාව තියෙන්නෙත් එකම එක කකුලක් තියන අබ්බගාතයෙකුට විතරයි ...................

Friday, 6 January 2012

මේ අද දවසයි........


හිතේ කිසිම අදහසක් නැතුව නිකම්ම නිකං පුරන් වෙච්ච දවස් තිබිලා තියනවාද? එහෙම දවස් හරිම පාළුයි ..හරියටම වහින්න ඔන්න මෙන්න අහසක් වගේ...අරමුණක නාමයක්වත් නැහැ..


ජීවිතේ වෙලාවකට හරිම පුදුමයි...එක එක වෙලාවට එක එක පැති වලට ගලන ගඟක් වගේ ...හිතා ගන්න බැහැ තව විනාඩි කිහිපයකින් මොනවා කරාවිද? මොනවා හිතේවිද කියලා...සමහර විට ඔයාලා කියාවි හිත මෙල්ල කරගන්න කියලා..මේ අහන්න....ඔයාලත් එහෙම කලාද? නැහැ නේද? කියන තරම්ම ලේසියෙන් එහෙම දේවල් කරන්න අපහසුයි..

අද අළුත් දවසක්...අළුත්ම අළුත් දවසක්...සැබෑවටම මේ අද කියන දවසේ මොනවද අළුත්....පරණ ඉරමයි..ගේ ඉස්සරහා ඉද්ද ගහ දවස් ගානක් මහන්සි වෙලා මල් ටිකක් පුබුදවලා..පරන පෙති දිගහැරිලාම විතරයි...ගේ ලඟ අඹ ගහේ කූඩුවක බිත්තර තිබුනා දවස් ගානක් අන්න අද කිචි බිචි ගානවා මම හිතන්නේ පැටව් අද එළිය දැකලා...කිරිලිලියි කුරුල්ලයි කොච්චරනම් වෙහෙසුනාද මේ බිත්තර රැකගන්න..රෑ දවල් නැතුව මහන්සිවුන මහන්සියේ ප්‍රතිඵල තමයි අද මේ කුරුළු දෙමව්පියෝ විඳින්නේ...

අද කියන දවසේ තියන හැම දෙයක්ම ඊයෙන් ගෙනාපුවා..අද කියන දවසේ දේවල් හෙටට...අපි හැමදාම දකින ඉර ලෝකේ වටේ රවුමක් ගිහින් පැමිනි පලියට අළුත් දිනක් මැවෙනවානම් අපේ ජීවිත කොච්චර සුන්දර වේවිද? සැබවින්ම ඊයේ කියන දවසින් ගෙනාපු කිසිවක්ම නැති අළුත්ම අළුත් දවසක්....එහෙම දවසක් කොච්චර සු
න්දර හිනයක් වේවිද? 
__________________
ප.ලි

සමහරක් රාත්‍රී බොහෝ දිගුය

මුත් රාත්‍රිය එබැව් දන්නේවත් නැත...

රාත්‍රිය හිරු එන තෙක් පමණි

ඉන්පසුව උදෑසනය

නැතිනම් දහවලය....


 එසේත් නැතිනම් හැන්දෑවම ය....

රැයට කිසිත් නැත සිතන්නට ඉන් ඔබ්බට

නියතවම හිරු රැගෙන එනවා සත්තයි


 යලිත් රාත්‍රිය......................
...

Thursday, 5 January 2012

අප්පච්චි‍‍.............



කුඹුරු සරු දැයි යමෙකු විමසුවහොත් කොතරම් සරු උවත් 
"පලක් නැහැ මේ කන්නෙත් ඉවරයි" 
යැයි අප්පච්චි කියන්නේ මක් නිසාදැයි මම අදටත් දන්නේ නැත..ඉනික්බිති වි වේලා අටුව පුරවයි...ඉතිරි වී විකුණයි ..

යමෙකු විමසුවහොත් මෙවර කණ්නයේ වි වැඩි මිලට විකුණා ලාභ ලැබුවාදැයි ඔහු නියතවම කියන්නේ 

"ගිය කන්නයේ සෙතේම තමයි අතකොල්ලෙට දීලා දැම්මා" යනුවෙනි..

කිසි දොසක් නැත අප්පච්චිගේ කුඹුරක් කිසි දිනක පාඩු ලබා නැත...

යමෙකු ඔහු ලෝබයෙකු සේ දකියි...මුත් උපයනා සියල්ල දන්නා දවසේ සිට එක්කලේ අක්කාගේ සහ මගේ ගිනුම් වලටය...

"කෙල්ලව හොඳ දිගෙක දුන්නනම් මම නිදහස්...කොල්ල ගැන බය වෙන්ට දෙයක් නැහැ" 

අප්පච්චී අටුව පුරවන්නා සේ අප ගිණුම් පුරවයි ..කාටත් හොරෙන් එදෙස බලයි..සතුටුවෙයි...
ලන්ද ඉපනැල්ල අප්පච්චීට මහ ගෙදරය..දෙපතුල දුටු තැන ඉපනැල්ල නැවෙයි..එය බොහෝ ගොරහැඩිය...අත්ල කොතරම් ගොරහැඩිද? කුඩා කල මම අප්පච්චිගේ අත්ල ස්පර්ශ කර යලිත් මා අත්ල ස්පර්ශ කරයි ..එය අත්ලකට වඩා කළුගලකට සමාන ය.


මූකලාන හේනක් වන්නේ බලා ඉඳිද්දීමය..
"උඔලගේ මහ එකා හරි අත්ගුණ කාරයා" යි ගැමියන් නිතරම කියනවා මා අසා තිබේ..සැබවකි ඔහු කල කිසිම කාර්‍යයක් අඩපණ නැත...නියතවම ඵල දරයි...


ගමේ මළ ගෙයක් ,දානයක්,මඟුලක් ඔහු වරද්දන්නේ නැත..එවන් අවස්ථාවල ගැමියන් පළමුව සොයා එන්නේ අප්පච්චීවය...එලෙස එන ගැමියන් කිසිදු විටක සනසවන්නේ නැතිව අප්පච්චී පිට කලානම් එය පුදුමයකි..


අප්පච්චී දැන් පනස් හැවිරිදිය..
නිතරම නොකෑවත් ඉඳහිට කන බුලත් විටින් ඔහුගේ දත් කිහිපයක් අවපැහැ වීය..එය හැරුනු කොට වැහැරුනු ලක්ෂන ඔහු කෙරෙහි නැත..තවම උදැල්ල හුරුය...නැතහොත් උදැල්ල අප්පච්චීට අවනතය..


පන්සල අප්පච්චීගේ දෙවන නිවහනයි..බුදුන් වැඳීම නිතරම නොකලත් අප්පච්චී පන්සලේ කාලය ගත කරයි..ඉඳ හිට බුදු බණද,බණ කවිද කියයි,තවත් විටක දර්මය විචාරය කරයි,දෙවියන් පිලිබඳ තිබෙන්නේ දැඩි ලෙන්ගතු බවකි..අයියනායක දෙයියන් බුදුන් තනතුරේ තබා උපස්ථාන කරයි..තෙල් මල් පුදයි,


අනෝරා වැහි අප්පච්චීට හිතට සහනයකි..තාවුල්ල දෙස බලාගෙන වැහි දින වලදී ඹහු සිටින්නේ හිසට හබරළ කොළයක් හෝ කෙහෙල් කොළයක්වත් නැතිවය..අප්පච්චී එදෙස බලා සිටීමෙන් අපිරිමිත චිත්ත ප්‍රීතියක් ලබයි නිරාමිස සුවයක් ලබයි...අප්පච්චී ජීවිතය විඳින්නෙකැයි විටක මට සිතේ...


නියං කාලයක් ලැබීය. මුත් අප්පච්චිගේ එකදු කුඹුරක් හෝ පාළු වී හෝ විනාශ වී නැත..වඩා හොඳින් කුඹුරු වැඩී තිබේ..

නියං කාලයේ අක්කාගේ හිත ප්‍රේමය වපුරා තිබිනි..ප්‍රේමයෙන් අක්කා මං මුලාවී සිටියේ යැයි විටක මට සිතුනි..නියං සමය අවසන් විමටත් මත්තෙන් අක්කා ප්‍රේමය සොයා කැදැල්ල හැරදා ගොස් තිබුනි..

අප්පච්චී කෝප වු බවක් හෝ වික්ශිප්ත වූ බවක් මට දැනුනේ නැත...අක්කා ගැන අප්පච්චිගෙන් විමසු ගැමියෙකුට අප්පච්චි කීවේ

"දැන් කෙලීගේ කල වයස හරි නොවෑ පෙළවහක් කරගත්තට මගේ අමනාපයක් නැහැ " කියාය..

මුත් අප්පච්චි අසීමිතව එම සිද්දියෙන් විඳවනා බව මා දැනගත්තේ අක්කා විසින් ගෙවත්තේ පැළකර තබුනු මනාව වැඩුනු පීදින්නට දින ගනිමින් තිබුනු රත් කෙසෙල් පඳුර සුනුවිසුනු වන්නට කැතිගා තිබෙනු දැකීමෙන් පසුවය...


අප්පච්චි දින කිහිපයකට පසුව ගමේ පුලන්නන් කිහිපදෙනෙකු කැඳවා අටුවේ ලූ වී විශාල ප්‍රමානයක් බෙදා දුන්නේ 
"දැන් මේව කන්න එකෙක් අඩුයි නොවැ" කියමිනි...


අක්කා ගැබ් ගෙන තිබෙන බව අප්පච්චී දැනගත්තේ කන්දේ ගෙදර සෝමා නැන්දා මගිනි..මා පසුව දැනගත් පරිදි අප්පච්චී අක්කාට නොකියන පොරොන්දුව මත සෝමා නැන්දා යවනා මෙන් කලමනා විශාල ප්‍රමාණයක් අක්කාට යවා තිබිනි..


අක්කා පුතෙකු වැදු බව අප්පච්චී දැනගත්තේද සෝමා නැන්දාගේ මාර්ගයෙනි...අප්පච්චී එවෙලම මරක්කලයෙක් සොයා ගොස් අප්පච්චිගේ මුත්තෙකුගෙන් තෑගි ලැබුනු රන් කාසියක් මකවා මාලයක් සදවා පුතුට යවා තිබුනි...


මුත් කවරදාකවත් අප්පච්චි මුනුබුරා දැකිමට ගියේ නැත..ගම්මුන්ට තිබෙන බිය හා ලැජ්ජාව නිසා අක්කා ගම් තුලානට පැමිනියේද නැත..


ඉඩෝරයකට අහස අරඅදින බව දැන දැනත් අප්පච්චී කුඹුරු වැඩ වෙනදාටත් වඩා උනන්දුවෙන් කලේ උදව්වට පැමිනි ගම්මුන්ට "දැන් මේවා පරිභෝජනය කරන්න තවත් එකෙක් ඉන්නවා "යි කියමිනි...


අප්පච්චී වෙනදා නැති උද්දාමයකින් අටුව පුරවනු ලැබිනි...
."කොළු පැටියෙක් නිසා හොඳට කන්න බොන්න තියෙන්න එපැයි"   අප්පච්චි එසේ ගම්මුන්ට කියනවා මා අසා තිබිනි...


අප්පච්චී මෙතරම්ම රාජකාරී අතර විටින් විට වැට කඩුල්ල බලයි...මුත් ඉන් බෝහෝ දුරක හිත ගොස් තිබේ...වැට කඩුල්ලේ රැඳුනු දැස දිලිහෙයි..එම දෑස නියතවම මුනුඹුරා හුරතල් කරනවා විය යුතුය..පසුව කවරදාකවත් නොදුටු කඳුළු අප්පච්චිගේ නෙත තෙත් කරයි.....


අප්පච්චීට යාන්තමින් හෝ වැටහුනොත් මා අප්පච්චිගේ වෙනස දුටුවා යැයි ඔහු නිතරම කියන්නේ  
"මේ වැහි කෝඩේ කවදා එයිද මන්දා කුඹුරුනම් මෙදා පොටේ පාළු වෙන හැඩයි..වැවත් හොඳටෝම හිඳිලා..ඉක්මනින් මේ වැහි කෝඩේ මේ දිහාට සේන්දු උනොත් හොඳයි"  කියා ය..


මමද පතන්නේ එයමය අප්පච්චිගේ හද කුඹුරට දියවර ගෙන මුනුඹුරාට වඩින්නට කියා ය.

Tuesday, 27 December 2011

පහන් සිල-කෙටි කතාව










අහස මන්දාරම් ය..හාත්පස අඳුර පැතිරියේ හදිසියේ එන වැස්සකට ය..පන්සල් බිම සිල් සුවඳ නික්ම ගොස් දුහුවිලි මත වැටුනු දිය මුහු වුනු දුහුවිලි සුවඳ ලැගුම් ගෙනය..අන්නතරීය පාප කර්මයක් කලාක් මෙන් අහස නොනවත්වා හඬයි..ඉනික්බිති විටින් විට ගොරවයි..පන්සල් බිමේ එකතු වුනු දිය සෝමේ අක්කලාගේ වත්ත  හරහා කඩිත්තට වැටෙයි...හනි හනියට දිය කඳ කළු ඟඟ මතින් සමුදුර දකිනවා වෙත්..
ලොකු හාමුදුරුවන් සැතපි සිටී... වැහි දිනයන් හී අරියවංශ ලොකු හාමුදුරුවෝ වෙනදා නැති සුවයකින් නිදයි..නිදන් ගත සෑම රෝගයක්ම හාමුදුරුවන් සමඟ සැතපී වන සෙයකි.....


චීවරය හිස මත දවටා විහාර ගෙට වැස්සෙන් රැකී පිය මැනීමි...විහාර ගෙය හිතට සැහැල්ලුවකි..
පිටත ගොරවන අකුණු ගසන හඩින් දෙදරයි...විටින් විට නෙත් අඳ කරමින් විදුලි එළි විහාර ගෙය තුලටද අනවසරයෙන් පැමිනෙයි.. අවසරයකින් තොරව පැමිනි එළි අනාවසරයෙන්ම නික්ම යයි..අඳුර සමඟ එළිය නික්ම යයි..නැවතත් එළිය සමඟ අඳුර නික්ම යයි...


විහාර ගෙය තුල පහනක් දැල්වීමි..මදක් චිරි චිරි හඬින් දිය පිස දැමූ පහන් තිර හොඳින් දැල්වෙයි...සීතලෙන් තැතිගත් කෘමීහු පහන් සිල වටා එතෙයි...විවිද හඬ නංවමින් උන් දැවී යයි..පහන් සිල නිවා දැමීමි...නැවතත් අඳුරම පමනකි..ගොරවනා හඬ සමඟ නොඅවරස එලි ගමන් බිමන් යයි...ගැබ්බර අහස හඬයි....


හිස වටා සිවුර දවටා නැවතත් විහාර ගෙයින් නික්මිනි.... පඬු සුවඳ අන් හැමටම හොඳින් නාස් පුඩු අරක් ගෙන ය...

Thursday, 28 July 2011

එදා මහ මූසලම මූසල විදිහට පටන් අරගත්තු දවසක් එළි උනේම වැහි කෝඩයක් අරගෙන ....පුරුදු විදිහට බෝඩිමෙන් නික්මුනේ සුපුරුදු රාජකාරි වලට අව්ව වැස්ස කියලා නිවනක් නොතිබුන නිසා...මට ඉතින් කොහෙද කුඩ..යාන්තමි තෙමීගෙන කාර්යාලයට ගොඩ උනා.....හැම දෙයක් අතරම හැමදාම හොයන හිනාව අදත් හෙව්වා..නොදැක්කම හිනාව හිත හොයන හිතුනා අද අහසට ඉර අරන් එන්න අමතක වෙලාවත්ද කියලා...නැහැ මේ එන්නෙ ඉර අද කළු කුඩයකට මුවා වෙලා....හිත පිරුනා...පිරිලා ඉතිරිලා දෝරෙ ගියා..හැපෙන නොහැපෙන තරමට ලඟින් ගිය සුපුරුදු සුවඳ පිටිපස්සේ හිත හීයක් වගේ ගිහින්...කවරදාවත් කථා නොකරපු මේ අපූරු හීනෙට හිත හුඟාක් ලෙන්ගතු වෙලා තිබුනේ....හැමදාම දෑස් වලට හිමිවෙලා තිබිචිච විදිහට එයා පිය ගැට පෙල අතර නොපෙනී ගියා....පැය අට ගෙවුනේ හරි අමාරුවෙන් මන්දගාමීව.....කමක් නැහැ ගෙවුනනේ කොහොම හරි තවත් මොනවද? මේ වැස්සක තරම බින්දුවක් වත් අඩු වෙලා නැහැ...තෙමෙනවා කියලා මෙහෙමත්......හිතෙන් අසිමිත විදිහට ශාප කලා වැස්ස වලාහක දෙවියන්ට...කෙටි වහලයට මුවා වෙලා පියවර කිහිපයක් ඉදිරියට ගියත් අකුනු හඬකින් තැතිගෙන මොහොතකට නැවතුනා....එන්න කුඩේ යටට ...මෙන්න අකුන අස්සෙ විදුලියක්..කිලිපොලා ගියා සියොළඟම..ම් ම් ම් මම ....පැටලුනු වචන අතරින් මම මටත් නොදැනිම කුඩය යට නැවතිලා..එයා අකුනට හොඳටම බය වෙලා එයාගෙ දෑස් එහෙම කියනවා මට හොඳට දැනුනා....තවත් අකුනක් ගහපිය ...මම පින් සෙන්ඩු උනා වැස්ස වලාහක දෙවියන්ට......හැමදාම දොඩමලු වෙච්ච දෑස් බයෙන් සලිත වෙන හැටි මම බලාගෙන හිටියේ ඊට නොදෙවෙනි බියකින්....දෙයියන්ට පින්සිදුවන්ට දෙවැනි අකුණ පුපුරද්දි මගේ අත තදින් තෙරපවද්දි හිතුනා අද කොචිචර සුන්දර දවසක්ද කියලා....ගමන දුම්රියපලින් නැවතුනත් අපි දුර ගමනක් යන්න අඩිතාලම හදාගෙන...දැන් අවුව වැස්ස බේදයක් නැතුව අපි එක කුඩේ යට.........කාලකන්නි විදිහට පටන් ගත්තු දවස ඉවර උනේ හරිම  සුන්දර විදිහට......
සිහින විල්තෙර ට සමනල්ලු එන කාලයද මේ..නානාවිධ සමනල්ලු ......ලස්සනයි විල්තෙර පුරාම පියාඹනවා..මතක තියාගන්න අල්ලන්න යන්න එපා පාට ඉහිරුනාම පියාඹන්න බැහැ උන්ට.....සමනල්ලුත් මතක තියාගන්න හැම මලක් ගානෙම පියෑඹුවත් හැම මලක් මතම උණු කඳුලැලි නොතබන්න....දන්නවද? අර කඳුලු වායු තාම තියනවා එක සමනළයෙක් නැති උනාට උයනට පාලු නැති නිසා....පාවිච්චි කරයි කඳුලු වායු පරිස්සමින්.......  

සිහින

සීත පහස නොවූවද ජරීර් හී ඉදිරිපස තණ යාය හැන්දෑ යාමයේදි මහත් අස්වැසිල්ලක් එක්කල හෙයින් එහිම නවතින්නැයි හිත ඉල්ලීය..මාද අවනතය....දූවිල්ලෙන් වැසීගත් අරාබියානු අහස නුවර එළිය සිහිකරයි..තණ බිස්ස මත දිගාවීමී..සිත හැල්මේ එහෙ මෙහෙ දුවයි නවතා ගන්නට හෝ නවත්වන්නට උවමනා නැත මා ඊට ඉඩදුනි....හිත හැල්මේ අඹේවෙල තණ බිමටද ගොසිනි මම දන්නා හඳුනන යුවතියකද සමඟය..අප කෙලිදෙලෙන් තණ බිස්ස මත විමී...ඈ උකුලත මහිසද හොවා ගෙනය...එහි නිරාමිස උනුහුමක් විය .මා තව තවත් ඊට තුරුල් වීමී..ඈ සෙමෙන් මා කෙහෙ පිරි මදියි..මා සිහින ලොවකය ඈ එහි ටිකටි පත් අප දෙදෙනාටම වෙන් කොට තිබිනි...අපි නිදහසේ එහි සැරි සැරීමි....ඈ නලලත සිපගැනීමේ ඡේතනාවක් මසිතට විය ඉඟටිය වටා දෑත් යවා මා ඈ මා වෙත නැඹුරු නර ගතිමි....දැන් ඈ නලලත මා දෙතොලගට ලඟය එහි සුවඳ නාස් පුඩු හරහා හදවතේ ගැඹුරකම අනවසරයෙන් ලැගුම් ගති...මාද ඊට විරුද්ධ නැත....මා එහි නිරාමිස වීමි....හදිසියේ ක්‍රියාත්මකවූ තණ බිස්සේ වතුර මල මා නැහැවීය ...මා යලිත් ඇසිල්ලකින් අරාබිකරයේ තනි කිරීමට එය සමත්විය....දැන් දිනපතා හැන්දෑවට මම එහි යෑම පුරුද්දක් කොට ගති....නිතරම වතුර මල් නැති පෙදෙස්හී විසීමට පරිස්සම් වෙමි.....

Tuesday, 12 July 2011

අපි...

...ඹයා පරිස්සමි වෙන්න....හුඟාක් මේ ලෝකෙ දරුනු වැඩියි අපි හිතනවට වැඩිය....අපි අසරන වෙන එක විතරයි අවසානෙ සිද්ද වෙන්නෙ...අපිට පුළුවන්ද උඩුගමිබලා තනියම පිහිනන්න..බැහැ මැනික..අපි තනි නැහැ ලෝකයක් බලන් ඉන්නවා අපිට හිනාවෙන්න වැටෙන්නත් කලින්ම..හුස්ම ගන්නවාට හැරෙන්න අපිට ජීවිතයක් තියෙනවා වෙන්න පුළුවන්....කරුමෙකට අපිට පුලුවන් කම තියෙන්නෙ හුස්ම ගන්න විතරයි.....

කෙටිම කෙටි කථාවක්

වෙනදා තරමි නොවුනත් සිදීගෙන යන තුඩුගල දිය දහර නුඹේ දෙපතුල් තෙමාගෙන ගලා යද්දී මම ඊට තරමක් දුරින් දිය සිහිල වින්දා...නුඹේ දෙපතුල් තෙමිමවා ගෙන ගලාගෙන මා දෙපතුල් අතර නතරඋන දිය දෝතක මම නුඹට හොරෙන් නුඹේ සුවඳ සෙවිවා....සීතලම සීතල වතුර බින්දු මුහුන මත තවරගෙන මම ඹය උණුසුම හෙවිවා....මම බොලඳ වෙලා කියලා හිත මටම මුමුනද්දි මම තව තවත් දිය දහරාවෙ නුඹට හිමි දේවල් හෙවිවා...මට හුඟාක් දේවල් ලැබුනා...සීතල වතුර බින්දු පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ කර මොකක්දෝ නොදන්න සතුටක අනන්තයටම ගියා...මට සීතලයි ...හුඟාක් ....දරාගන්න බැරිතරමටම......මට උනුසුම නොදුන් නුඹ ඹහුගේ පපුව මත ලය හොවාගෙන සතුටින් දෙපා දිය මත එහා මෙහා විසිකරන අපූරුව මට සිහිලක් ගෙන දුන්නද??? මම නුඹේ සුවඳ හෙවිවෙ මෙහෙමද ?මට උනුහුමි වෙන්න මෙයම මදිද?........................ක​ාලයකට පසුව අදද නුඹ මට සිසිලද උනුසුමද නොඅඩුව ලබා දේ.ඉතින් මම කෙලෙසක වෙර බඳින්නද නුඹට......




තටු ලදිමි සිහින විල් තෙරකින් මම............

 බොහෝ කෙටි කළකින් දැන හැඳින ගත් අයෙකුගෙන් ජීවිතය ඉගැනීම හෝ දැන ගැනීම විහිලුවක් හෝ හාස්‍යට කරුනක් යැයි ඹබට  හැඟුනොත් මම  ඊට විරුද්ධ වන්නේ නැත.නමුත් මම ඊට එකඟ වන්නේද නැත.නමුදු අ;ගන්තුකයෝ ජීවිත වෙනස් කරනවා යැයි කීමට හොඳම උදාහරනයක් වේ නමි එය නිසැකවම මම වේ....නිදහසේ පියා සල කුරුල්ලෙකු තටු කපාගෙන ය.බලහත් කාරයෙන් තටු කපාගෙන ය.අ;ගන්තුකයා කියාදුන් සරළ මුත් දුෂ්කර ජීවිතයේ ඉක්මනින් පියා සැලිය නොහැක..මඟ ලකුනු බලමින් විපරමින් සෝදිසියෙන් සෙමින් ගමන් කල යුතුය...එවිට බොහෝ දෑ හිමිවනවා යැයි අ;ගන්තුකයා කී පරිද්දෙන් මට බොහෝ දෑ හිමි විය..සෙමින් ගමන් ගන්නා මුත් මේ ජීවිතය බොහෝ සොඳුරුය...පියා සළනවා තරමි වෙහෙසක්ද නැත....තටු කොහෙත්ම රිදෙන්නේ නැත....අපූරුය ...චමත්කාරජනකය....මම ගමන් කරමි....තටු තබා එය නොසිතා දෙපයට වාරු වී මහ පොළවට දැනෙනා මෙන් ගමන් කරමි....අ;ගන්තුකයා කියා දුන් මේ ගමන් මඟට පින් සිදුවන්නට මහ පොළව මා හොඳින් හඳුනයි..බර අඩි තබමින් යන මාගේ බර පොළවට දැනෙන බව මමද දනිමි....එම පොළව මමද හොඳින් හදුනයි......දැන් මා ස්ථාවරය පැටලීමි. වැටීමි නැත.......අ;ගන්තුකයා අපූරුවට ජීවිතය කියා දී හමාරය....පළමු පින් අනුමෝදනාව එලෙස ජීවිතය කියා දීම හරහා සියල් හැකියා ඹප මටිටමි කල නුඹට ය.......දයාබර   ඇදුරුතුමියනි   නුඹටයි මේ තුති කුසුම........