Sunday 20 May 2012

එගොඩහ යන්නෝ...එන්න ගොඩවෙන්න..




එගොඩහ යන්නෝ 
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ...

ඟඟුල අනෝමයි
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ

මම මේ ඟඟුලේ අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා........

පමා නොවන්නේ
අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ

මම මේ ඟඟුලේ අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා........

මේ ගීතය විශාරද ශෙල්ටන් පෙරේරා ගායනා කරනවා උනත් අපේ මතකයට එක්කලේ පහුගිය දිනක අපි අතරින් වෙන්වුනු ශතිෂ් පෙරේරාගේ හඬින්..

බොහෝම සරල වචන ටිකක්...ගැඹුර කියන නාමයක් නැහැ...එතරම්ම සරළයි...ඩෝල්ටන් ද අල්විස් ලාංකේය සුභාවිත ගීතයේ සුමට පෙරගමන් කරුවා කියලා මම නිතරම හඳුන්වන්නේ මේ සරළ බව නිසා වෙන්න ඇති..

එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ...

බැලූ බැල්මට තොටියෙකු(වියපත්) ඟඟ හරහා එගොඩ සහ මෙගොඩ වීමට මගීන්ගෙන් කරන ඉල්ලීමක්..සැබවින්ම බැලූ බැල්ම එලෙසයි..නමුත් මේ සරළ වචන තුල මහා සිතීමට අසීරු ඟැඹුරු බවක් ගැබ්වෙලා තියනවා..

ජීවිතය කියන දේ භව කියන මායාවේ හිර වෙලා..සසර කියන වදන් වල ඇලිලා...මින් එතෙර කරන්න පුලුවන් කෙනෙක් ගැනයි මේ කතා වෙන්නේ..

ඩෝල්ටන් මහත්මයාගේ වඩන වලින්ම කියනවානම් මෙන්න මෙහෙමයි.." ශෙල්ටන් මේක නිකම්ම නිකන් තොටියෙක් ගයන ගීතයක් නෙමෙයි..මේක කියන්නේ බුදුන්.."

අන්න එහෙමයි ඩෝල්ටන් ද අල්විස් මේ ගීතය ශෙල්ටන් පෙරේරාට දෙද්දි කිව්වේ..

ඟඟුල අනෝමයි
අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ


මම මේ ඟඟුලේ
අඟුලේ නැඟලා
එගොඩ මෙගොඩ යනවා........

මෙතන ගඟුල සැඩ බවකුත් තොටියාට වෙහෙස බවකුත් අඟවනවා...මොකක්ද මේ වදන් වල අර්ථය..කුමක් ව්‍යාංගාර්ථ කොටද මේක දක්වලා තියෙන්නේ...

ඟුගුල කොහිමටත් සැඩයි ...ඡන්ඩයි..රුදුරුයි..මම දැන් මහළුයි ..මේ සැඬ ගං දියේ මම පහසුවෙන් හැම අපහසුවක්ම මඟහැර එහෙ මෙහෙ ගියා..මම උඩුගං බලා පීනුවා..නමුත් මට ඔබ ගෙනයන්න තිබෙන්නේ තව සුලු වේලාවයි....

බුදුන් වහන්සේගේ සිත කියවූ අයුරින් ඩෝල්ටන් අල්විස් මේ කියන්නේ කුමක්ද?සෑම වචනයකම තිබෙන දැඩි සම්භන්ධය හරහා පහත පද වලින් එය මනා නොට පැහැදිලි කරවයි..

පමා නොවන්නේ
අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ....

සංවේදී උපමා භාවිතය...අපූරු සත්‍යාවභාශය...අනුපමේය නිර්මාන කුසලතාවය..වෙන කුමක් නම් මින් නොපෙන්වයිද?

පිරිනිවන් මන්චකයේ මරණය අභියස සිටින බුදුන් "එන්න අඳුර ආසන්නයේය...ප්‍රමාදය මරණයට හේතුවේ අප්‍රමාදීව කටයුතු කරන්නැ'යි දේශනා කරයි..මේ එයම නොවේද?

මේ කෙටි කොට දැක්වූ සරළ මහා පරිනිර්වාණ සූත්‍රය නොවේද?.....

කියන්න ...මෙය සැබෑවක් නොවේද?

Thursday 12 April 2012


ආදරය හුදෙක් විඳීම පිණිසය...නමුත් ප්‍රේමය උරුම

කරනා සියළු දේ අප භාර ගත යුත්තේ කොන්දේසි

විරහිතවය...ආදරය එය ලබාදෙන්නේද

එලෙසය...කාලය බොහෝ ගැටළු නිරාකරණය

කරනවා කීවත් එය

තරම් හිත හදාගත හැකි මුත් කිසිදාක පිළිතුරු

සොයාදෙන යමක් නැත..ආදරය හුදු මානසික

සහනයක් නොවී

ඇවිලෙනා ගින්නක්ම වන්නේ කුමන හේතුවකින්දැයි නියත වැටහීමක් නොවුනද එය මේ යැයි විස්තර කල

නොහැක්කක්ද නොවේ...නමුත් එය තවකෙකුට පැහැදිලි කර දිය හැකි මට්ටමක වේදැයි පවතින්නේ

සැකයකි...එය කෙටියෙන්ම කියනවානම් "නුඹ සහ මා සහ අප" එපමණකි....!! එය එසේ වීම සහ නොවීම

මත බොහෝ දෑ තීරණය වේ.....!!!!
!

මා හට ඇය හමුවන්නේ ගිය අවුරුද්දේ මෙවැනිම මාසයකය..වසන්තය පසුගිය අවුරුද්දක් පුරා මා

ජීවිතයට ඇය එක් කලේ කිසිදු ලෝභී බවකින් තොරවය...අප බොහෝ සතුටින් කල්

ගෙවීය...පුරාවසරක් අප බොහෝ භාධක මතින් ආහ

බොහෝ දෑ සිදුවිය ...සිදු විය යුතු දෑද සිදු නොවිය යුත් දෑද ඒවා අතර විය...අවසන හිතූ තරම්

සොඳුරු නොවිය..මට සිලිටු නොවීය...ඉහත සියල්ල එය හරඹයාම ලියන ලද්දකි...

අහෝ ප්‍රේමය ...තවත් හිත් ස්පර්ශ කරනු ....ප්‍රේමයෙන්ම පමණක්ම...අන් කිසිවක්ම නොදී...!!!!!

"ප්‍රේමය නම් පක්ෂියා නිදහස වෙනුවෙන්මය කූඩු කිරීම පිණිස නොවේ"

Saturday 31 March 2012

අපූරු මිනිසෙක්...

මට ඔහුව පළමුව මුනගැසුනේ අන්තර්ජාල රේඩියෝවක වැඩසටහනක් සඳහා සාභාගීකරවා ගැනීමේ අරමුනෙන් පැවති සාකච්ඡාවකදීය..එම සාකච්ඡාව පැය හතරක් පමණ දීර්ඝ විය..අප බොහෝ දෑ සාකච්ඡා කලෙමි..එම සාකච්ඡාව අතර ඔහු හා ඔහුගේ මිතුරු කවියෙකු කවි කිහිපයක් ගායනා කල හ...එක් කවියක යම් දෝශයක් විය, මා එම දෝශය කීමට බිය වීමි...නමුදු බියෙන් මා ඔහුට එම වැරැද්ද කීමි..මා සිතුවේ "තමුන් අපිට කවි කියලා දෙන්න එනවද" කියා විමසා සාකච්ඡාවද අවසන් කොට ඔහු වහාම ඉවත්වීමට ක්‍රියා කරනු ඇතැයි කියා ය.

ටික වේලාවක් ඔහු නිහඬව සිටියේ මා තවත් බිය ගන්වමිනි..

"සමාවෙන්න මහත්තයෝ මටත් අරයා කියපු වැරැද්ද තේරුනා..වැරැද්ද පෙන්නලා දුන්නු එකට බොහෝම ස්තූතියි..."

ඔහු තවත්


බොහෝ දෑ කීය මුත් මගේ සවනත එම කිසිවක් රැඳුනේ නැත..මා සිත ඔහුගේ අසීමිත නිහතමාණී කමින් මුසපත්ව ශාන්ත සුවයකට පත්ව තිබිණි...

"මෙච්චර නිහතමාණී මිනිස්සු ඉන්නවද බං" මම වහාම රේඩියෝ අන්තර්ජාල සංවාදයෙන් ඔහුන් ඉවත් කර මා හා වැඩසටහන් සාකච්ඡාවේ සිටි නීතීඥ වරයාට කෙඳිරීමි..

නැවත අප බෝහෝ දෑ සාකච්ඡා කලෙමු...එය සාකච්ඡාවකටත් වඩා දිගු වූ පාඩම් මාලාවකි.....

මේ මා කථාකරන්නේ වෙන කිසිවෙකු ගැන නොව "සුනිල් ජී කුකුලේගම" නම් වූ අසහාය නවකතා කරුවා,ගේය පද රචකයා, පුවත්පත් කලාවේදියා හා කවියා පිළිඹඳවය.





කෝකිලහඬ කවි සංගමයේ නිර්මාතෘ සහ ප්‍රධාන ලේකම් වරයා වශයෙන්ද කෝකිලහඬ පුවත්පතේ ප්‍රධාන කතෘ වරයා ලෙසද ලක්දිව ඉතා ප්‍රසිද්ධියටපත් නවකතා රුසක කතෘ වරයා වන ඔහු කාව්‍යකෝකිල ගෞරව සම්මාය,කාව්‍ය ජෝති ගෞරව සම්මානය,ශ්‍රී රෝහන ප්‍රදීප කාව්‍ය චූඩාමණී ගෞරව සම්මාණය,කාව්‍ය වංශාභිමානී දේශශක්තී ගෞරව සම්මානය,සාහිත්‍ය කලා ශූරී දේශබන්දු ගෞරව,සාම විනිසුරු (දිවයිනටම) යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලද්දෙකි..........................

අප යමෙකුට යමක් කිවු විට හෝ වැරැද්දක් පෙන්වා දුන්විට නිතරම අපට සිදුවන්නේ අප අපහසුතාවයට පත්වීමයි...මම ඉතාමත් මෑත ෆේස් බුක් සඳැස කවි කණ්ඩායමක කවි පොතක් කල කාන්තාවකට කවියක වැරැද්දක් පෙන්වා දුන් විට ඇය මා හට අසභ්‍ය ලෙස බැන මිතුරු හවුලෙන්ද ඉවත් කර තිබිනි...එහෙව් මිනිසුන් අතර මෙම නිහතමානී මිනිසුන්ගේ ගුණ අපි කෙසේ වර්ණනා කරමුද?

මේ සටහන් කල මේ සෑම අකුරක්ම ඔහුගේ අවංක නිහතමාණී ගතියට උපහාරයක් වේවා........!!!!!!

Monday 26 March 2012

සබඳ අපි
















වියපත්ය පිය නැගූ මාවත්
දරිද්‍රතාවය ලැගුම්ගෙන ගස් වැල්
කුස පොත්ත පිට පැද්ද වැදී
ඉකි ගසයි ජීවිතය............


පිය මතින් පිය තැබූ
සදාතනික ජීවිතය
යදියි තව එක් දිනක්-මිය යන්න මත්තෙන්
අනෝරා දැක අත ලඟම
දනහිසෙන් උඩට දිය නොඑන.....


"අනිඡ්චා වත සංඛාරා"
දිටිමි තාප්පයක පාප්ප අතුරා
සුදු කඩදහියක
වර්ණ ඡායාරූපයක්ද යොදා......

යාන්තමින් හතර රියනක්
ජන ඝනත්වය අඩු තැනක
එතරම්ම ලාභ නොවූවත්
මිලදී ගත යුතුවම ඇත.......


තහඩු හෙවිල්ලවූ
වියූ පොල් අතු සිර ගෙයින්
පාරට තාර ඉල්ලිය යුතුය
සුදු පලස් එලන්නට
බෝඩ් ලෑල්ලක් ඔසවා...... 

Monday 19 March 2012

සබඳ ප්‍රේමය...


ආදරය කියන්නේ විරහව මේ තරම්ම තදින් ගෙනෙන දෙයක් කියලා දැනුනනම්, සත්තකයි කවරදාකවත් ආදරයනම් කරන්නෑ.

දුක හූල්ල හූල්ල කොට්ටයක් යට වැලපෙද්දි ලෝකයකට නොපෙනෙන්න කඳුළු හංගං හිටියේ කියන්න බැරි දුකකින්..ආදරෙන් මේවා ලබා ගත්තේ මම විහින්" වෙලාවකට හිත එහෙම කිව්වා"

කප්පරක් සිතුම් පැතුම් හිතේ මහ මෙරක් බරට තුරුළු කරන් සාර සංඛ කල්ප ලක්ෂයක් එකට ඉන්න පෙරුම් පුරපු හිත් දෙකක් ආයේ කවරදාකවත් එකතු නොවෙන්න දුරස් වුනාම හිතට දැනෙන හැඟීම් අකුරු කරන්න වචන කරන්න හරිම අමාරුයි අපහසුයි..

මම ආදරය කලා.."මගේ ආදරේ හරි දරුණුයි" පොඩ්ඩ එහා මෙහා වෙද්දි හොස්ස ලඟින් මැස්සා යන්න බැරි මම මොන කෙහෙල් මලකට ආදරය කලාද කියලා හිත මහා දුකකකින් මටම දෙස් තියාගන්නවා...

ජීවිතේ ගත්තු හැම හුස්මකටම නමක් ගමක් දෙන්න ලොකූ කාලයක් මම උත්සහ කලා ..පුළුවන් උපරිම සමහර විට ඊටත් වැඩිය උත්සහ කලා..එහෙම නමක් මටත් හොරෙන්ම ලියවුණා...
මැකිලා යයි කියලා හිතුවට කවරදාකවත් නොමැකෙන්න ඒ නමු හුස්මට එකතු වෙලා එහෙම නවතින්නැතුව ලේ වලටත් එකතු වෙලා ...තේරෙන සිංහලෙන් කියනවානම් ඇඟට පත්තියම් වෙලා..

මම හුඟාක් වැරදි කලා..මහා ලොකු අපරාධ නොවුනට කරපු සමහර දේවල් හුඟාක් දරුනුයි..බොළඳ අහින්සක ගෑණු හිතකට එහෙම දරුණු කම් දරාගන්න බැරිව ඇති.

අපි ආදරය කරන්න අරන් හා හා පුරා කියලා අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අපි හිතපුවත් නැති විදිහට අපිට වෙන් වෙන්න වෙලා..

හැම කෙනෙක්ම කැමති ආදරයෙන් එක් වීමක්ම විතරක් ලබන්න උනාට ආදරයට සමානුපාතික විරහව නිතරම ඊට හරස් වෙනවා..අපි ඒකට කොහොම නම් දාගත්තත් ඒක මහා දුකක්ම විතරයි......




කවුරුහරි ඇහුවොත් මගේ ආදරය නිසා එයාට මොනවද ලැබුනේ කියලා මම කවදාවත් පැකිලෙන්නේ නැහැ ඒ ලැබුනේ කඳුලු කියන්න.. මොකද ඒක තමයි යථාර්තය..මම වැරදි කරලා උත්සහ කලා එහෙම වැරදි කාගෙ හරි පිටින් දාලා හිත නිදහස් කරගන්න...මම වැරදියි ..සිය දහස් වරයක් නෙමෙයි ලක්ෂ කෝටි වාරයක් මගේ වැරදි වලට එයා සමාව දෙන්නැති..
නමුත් හුරු වැරදි පාරනම් මම වැරදියි...

මම එයාට දෙන්න අවශ්‍ය නිසි තැන දුන්නද කියලා මගේ හිත නිතරම ඇහුවා.."නැහැ" හිත දුන්නේ එහෙම පිළිතුරක්....

මගේ හිත පුදුමයි..."මෙච්චර මහ මෙරක් වගේ ආදරය කරපු කෙල්ලෙක්ගේ ආදරය ලබන්න බැරි අවාසනාවන්තයෙක් වුනා කියලා හිතෙත්දී මම මම ගැන ඇතිවෙන්නේ ලොකූ කලකිරීමකුයි ලැජ්ජාවකුයි විතරයි....




එයා අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරය කරනවාටත් වඩා මට ආදරේ කලා...වැඩිපුරම ගෙදරින් පිට හැදුනු නිසාද මන්දා මට අම්මගේ ආදරේ මහා ලොකුවට දැනුනේ නැහැ..මගේ පිටිපස්සෙන්ම වැටිලා ජීවිතේ හැම තැනදිම අත්වැලක් වුනානම්..පොඩි දරුවෙක්ට වගේ ආදරෙන් ජීවිතය කියලා දුන්නානම් ඒ වෙන කවුරුවත් නෙමෙයි එයාම තමයි...

මම වැරදි කලා..හුඟාක් ..මහා ගොඩක්..හැබැයි තේරුම් ගත්තේ පරක්කු වෙලා...ජීවිතේ පිටිපස්ස බලපු හැම වෙලාවකම මම මට අයිති දේවල් දැක්කේ නැවත ගිහින් ලබාගන්න බැරි හුඟාක් දුරකින්...මේකත් එහෙමයි...

ජීවිතේ අහිමිවීම කියන කාරණාවම විතරක් උරුම කරගෙන වෙන්නැති මම උපදින්නැත්තේ....එහෙම කියන්නේ හිත හදාගන්න...වෙන මොකටවත් නෙමෙයි..

"ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නැහැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වනු බැහැ දරා ගන්නට...."




ජීවිතේ කියන්නේ ඉරිසියාව හුඟාක් ඉහලින් වැජඹෙන තැනක් ... හිත මොකක්දෝ නොදන්න බැම්මකින් බැඳලා ..."උඹ වැරදියි" ජීවිතේ කවදාවත් නැතුව මට චෝදනා කරනවා..

හ්ම් මම වැරදියි.......කවදාවත්ම නැතුව මගේ හිතත් මටම වැරදි කියනවා..එයා අහින්සකයි..හැම ගෑණියෙක්ම වගේ බොළඳයි..එහෙම හිත පුරා ආදරය කරන්න පුළුවන් හිතක් මරලා දාපු මම නිවැරදියි කියලා කිව්වනම් තමයි පුදුම......

මම අසීමිතව දුක් වෙනවා...අසීමිතව විඳවනවා...එන්න...පුළුවන්නම්..හිත හැදුනහම..දන්නවද? හැම කටුක ගිම්හානයකටම පස්සේ ලස්සන වසන්තයක් තියනවා....නමුත් ඔයා කියාවි නැවතත් වසන්තයට පස්සේ දරාගන්න බැරි ගිම්හානයකුත් ඒවි කියලා...




Tuesday 6 March 2012

මරණය පෙනි පෙනී..






අතුපතර විහිදුන ගසක දෙබලකට මා නැගගත්තේ දැඩි වෙහෙසක් ගෙනය..රාත්‍රිය නිසා මුලතිව් මහ වනයේ බොහෝ වනචාරීන් සිටිය හැක..අවි ගත් වුන් මෙන්ම දත් විලිස්සූ උන්ද වෙයි..ලේ ගලනා කකුල තවමත් රිදුම් දෙයි....ලේ බිඳු ගස දිගේ පහලට ගලයි..ලේ සුවඳට දිවි වලස්සු ගස වටේ එකතුවනු ඇත...මා ලේ බිඳු පිසදා වෙනත් අත්තකට ගියෙමි...තරමක් දුරකින් කටහඩවල් ඇසෙයි...ඒ හඩ නියතවම දෙමලය..



ටෙරාලා සෙට් වෙලා. .....මා මා හටම කියාගතිමි....


මා සිටි ගස යටින් තුන්දෙනෙකුගෙන් සමන්විත සිරික්සුම් කණ්ඩායමක් විය..ආටි...රිපීටර්..මෙන්ම ටී 56 අවිද ඔවුන් සන්තකයේ විනි..මට ඔවුන් පැහැදිලිව පෙනෙයි..


මැරෙන එක මුං මරාගෙනම මැරෙනවා..

ඇසිල්ලකින් අත තිබූ ටී 56 වර්ගයේ ගිණි අවියට ඉතිරිව තිබූ අවසන් පතුරම් කොපුව ඇතුලත් කලෙමි..මානය බලා හැල්මේ සියළු පතුරම් නිමාවෙන තෙක් වෙඩි තැබීමි...අත වූ අත් බෝම්බයක්ද පහතට හෙළුවේ යාන්තම් හෝ හුස්ම ගන්නා යමෙකු පහත සිටිය හැකි බැවිනි..

හනි හනිකට ගසෙන් බැස ගතීමි..ත්‍රස්ථයන්ගේ සිරුරු කොටස් බැලූ බැලූ අතය..මා හට වේදනාව අතරින් සතුටක් විය....මියගිය ත්‍රස්තයෙකුගේ පපු රුඳවුමෙහි තිබූ පිරුණු උන්ඩ කොපු කිහිපයක් හා තවත් ගමන් කතනයක් මා අත්පත්කරගත්තේ ආයාසයකින් තොරවය..

ත්‍රස්ත පාලන ප්‍රදේශ ඇසෙනා මානයේ විය හැකිය..නොමැතිනම් තුන් දෙනෙකුගෙන් පමණක් සමන්විත පිවිසුම් කණ්ඩායම් කඳවුරෙන් පිටත සැරිසරන්නේ නැත..

කල්පනාකිරීමට කාලයක් නැත..ත්‍රස්තයන්ට අයත් වතුර බෝතලයකින් දාහය තරමක් නිවාගත් මා කකුල තරමක් ඔසවමින් ඉදිරියට සේන්දු විය.

පෙර නොවූ දහිරියක් හිතේ විය....කොහෝම හරි කෑම්ප් එකට යනවා මා තදින් කියාගතිමි..


කකුලෙන් වෙන්වුනු මුත් සිරුරෙන් ඉවත් නොවුනු මස් වැදැල්ල ගමනට මහත් හිරිහැරයකි..කලවා කොටසේ වැඩි ප්‍රමාණයක් ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුව ඇත...අතරින් පතර කෝටු කැබළි වල වදින කකුල එක්කලේ දැඩි වේදනාවකි..අවස්ථා කිහිපයකදීම කකුලේ එල්ලෙමින් තිබූ මස් වැදැල්ල කටු අකුළුවල පැටලිනි..

වේදනාව දරාගනු හොහැකි තැන පොළවේ දිගාවී එහෙ මෙහෙ අත වේගයෙන් ඇදුනි..දත් වේදනාව සමඟ පොපියනා බවක් විය...අතට හසුවුනු බොහෝ දෑ දත් වලට අල්ලා වේගයෙන් හැපීය..මුත් වේදනාවේ අඩුවක් නොවිනි...


අතට හසුවූයේ කළු ගලකින් කැඩී වෙන්ව ගිය ඉතා තියුණු කළුගල් කැබැල්ලකි..මස් වැදැල්ල එක් අතෙකින් පසෙකට ඇද අනෙක් අතින් මස් වැදැල්ල කපා දැමීමට මා අසීමිතව වෙහෙසුනෙමි...හය හත් වරක උත්සහයකින් පසු මස් වැදැල්ල සිරුරෙන් වෙන්කර ගැනීමට මා සමත් වූවත් සිරුර බොහෝ දුබල වූ සෙයක් විය..

නැවත දෙපයින් නැඟීසිටීමට කිහිප වරක් උත්සහ කලද එය අසාර්ථක වූයේ සෑම අවස්ථාවකම කපා හෙලූ කෙසෙල් කඳක් සේ බිම වැටුනු නිසාය..

වැටුනු සෑම අවස්ථාවකම එරමිනියා කටු සිරුරේ බොහෝ තැන් සිදුරු කරවීය..

රාත්‍රිය බොහෝ දිගුය..මා තවමත් පියවි සිහියෙන් සිටීම මටම අදහාගත නොහැකි විය...එළිවෙන්නට මත්තෙන් ජීවිතය සොයාගත යුතුය නැතිනම් සියදිවි නසාගත යුතුය..මා හැකි තාක් දිරි ගෙන නැඟී සිටියෙමි...


කඩාවැටුනු ලී දන්ඩක් ගෙන එහි වාරුවෙන් අපහසුවෙන් පිය එසවීමි...

ඉදිරියට තැබුවේ අඩි දහයක් හෝ පහලොවක් පමණි..එහෙ මෙහෙ දුවන විදුලී පන්දම් එළි බොහෝමයක් විය..අතරින් පතර ගමන් කථන හඬද දෙමළ බසින් කියනා මොන මොනවාදෝ ඇසෙයි හඬේ තරමින් දහ දොළොස් දෙනෙකුවත් සිටිනවා විය හැක..


මා බිම දිගාවීමි...දිගාවී මාතෙක් පිහිටට තිබූ දඩු කැබැල්ල හඬක් නොනැගෙන්නට බිමින් තැබීමි..


දුවන්නට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය නොමැත..මා බිම දිගාවී මුහුන කොළ රොඩු අතර සඟවා ගතිමි...


දැන් මෙම පිරිස සහ මම අතර දුර මීටර් දහයක් හෝ පහළවකි..නියතවම ඔවුන් ඉහත වෙඩි හඬ ඇසී පැමිනි පිරිසක් විය යුතුය..


දැන් පිරිස මට අඩි ගනනක් දුරිනි..තවත් මිනිත්තු කිහිපයකින් ඔවුන් මා පසුකර යන ලදි...

දැන් ඔවුන් මා පසුකර මීටර ගනනක් ඉදිරියෙනි..

මා සැනසුම් සුසුමක් හෙලීය....

ගතවූයේ විනාඩි කිහිපයකි..මා ත්‍රස්ථයින්ගෙන් ගත් ගමනි කථනය එක්වරම ක්‍රියාත්මක විය..එම හඬින් ඉදිරියේ වූ ත්‍රස්තයන් මා දෙසට හැරුනේ ක්ෂණයකිනි..

කල යුතු වෙනත් දෙයක් නැත...එක්වරම මා ගිණි අවිය ක්‍රියාත්මක කළ හෙයින් ත්‍රස්තයන් අන්දමන්දව බිම ඇද වැටිනි...

වැටුනු ත්‍රස්තයින් අතරින් පණ තිබූ අයෙක් අත් බෝම්බයක් මදෙසට දමා ගැසීය නිවැරදිව මා සිටි පෙදෙස නොපෙනුන නිසාදෝ එය පුපුරාගියේ මා සිටි තැනට අඩි කිහිපයක් ඉදිරියෙනි..දකුණු අත සිරුරට සවි වී තිබුනාද ගැලවී තිබුනාදැයි මා හඩ පැහැදිලි දැනීමක් නැත..මා මා සතුව ඉතිරිව තිබූ අත් බෝම්බය එදෙසට දමා ගැසුවේ සිරුරේ තිබූ අවසන් ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් විය යුතුය..

කකුලේ වේදනාවත් අතේ වේදනාවත් උහුලාගත නොහැකි විය...

පැය කිහිපයක් මා සිහියත් අව සිහියත් අතර විය....මා මරණය දෑස මානයේ තබා නිවැසියන් හා හිතමිතුරන් සිහිකර දුක් වීමි..

වේදනා විඳිනවාට වඩා සියදිවි හානිකරගැනීම වටී..මා ඉතා අපහසුවෙන් ත්‍රස්ත මළ සිරුරු වෙත ලං වූයේ ඔහුන් සතු ගිණි අවියක් ගෙන මා ප්‍රාණය නිරුද්ධ කරගන්නටය..

ඉදිරියට බඩගා ඇදුනේ කවරදාකවත් නැති ශක්තියකිනි...

ගිණි අවිය කුමන වර්ගයේදැයි දැනුමක් නොවිනි..එය ගෙන නිකටට යටින් තැබීමි..වේදනා ගෙන දෙන දකුණු අතේ දබර ඇඟිල්ල කොකා ගැස්සවීමට තරම්වත් සවි නොවිනි..මා කිහිප වරක්ම එසේ උත්සහ කලත් එය ව්‍යාර්ථ විය..

යලිත් ඈතින් යම් හඬක් ඇසේ සටනට මා සතුව සවියක් නැත..

මා ඒ දෙසට බඩගා ඇදුනි..





සර් මේ දැන් ටෙරාලා මෙතනින් ගිහින් තියනවා..මට අවසනට ඇසුනු හඬ මා නැවත නැඟී සිටවීමට සමත් විය..

මා සිරුරේ සියළු වෙර යොදා සර් මම ....ම්...ම්...ම්..මම ..කියාගත්තා පමණි..මා හාත්පසම කළුවර විය...කෝප්රල්...කෝප්රල්....කිහිප දෙනෙකු එසේ මා අසළම කෙදිරීය..

දින දහනවයකට පසු මා නැවත මේ ලෝකය දිටිමි..මුත් අතක් සහ පාදයක් මා හට අහිමි වී තිබිණ..


යුධ හමුදා ඉහල නිළධාරියෙකු ජාතික රෝහලට පැමිනියේ භූමි පුත්‍ර පදක්කම සහ තවත් බොහෝ දැ රැගෙනය...මා යාන්තමින් එසවී ඔහුට ආචාර කලෙමි.

Saturday 25 February 2012

අතුරු මිතුරු...(ප්‍රවේශමෙන් පරිහරනය කරන්න)




ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්ද? බැහැ..අපි බැඳලා..බැඳීම්වල හිරවෙලා..සමහර විට හුස්ම ගන්නවා හැරෙන්න අපිට ජීවිතයක් නැතුව ඇති..ඉපදුනාම ටික කාලයක් ජීවත් වෙලා මැරිලා ගියහම ජීවිතේ සම්පූර්ණයි කියලා අපි හිතනවා..යථාර්තය ඊට වඩා හුඟාක් වෙනස්..එහෙමත් නැත්නම් අපි තරමක් දුරකට වෙනස් කරලා ..මේ එහෙම කතාවක් සිදුවුනේ කාටද කියලා අහන්න එපා නමුත් අඩංගු දේ වැදගත් වේවි..

ආදරය හැමදාම යන්නේ විරාගයට සමානුපාතික මාර්ගයක...මම එහෙම කිව්වහම ඔයාලා කියයි එහෙමම වෙන්නෑ කියලා..අපිට යාළුවෝ ඕනෑ තරම් ඉන්නවා හැබැයි මේ යාළුවන්ගෙන් හිතවත්තු ඉන්නේ බොහෝම ටිකයි..

අපි සමහර යාළුවෝ ජීවිතේ හුඟාක්ම ලං උනාම බැඳීම් වැඩි උනාම නම් දෙන්න උත්සහා කරනවා..අයියා..අක්කා..නංගි කියනවාට අමතරට අපේ කියන විශ්ෂණ නාමයත් එකතු කරනවා..මේ මගේ මිතුරා (නම කිව නොහැකි) තම පෙම්වතියට හදුන්වලා දෙනවා තමන් බොහෝ ලෙංගතු තමාගේම සහෝදරිය යැයි කියාගත් කාන්තාවක්..මේ තැනැත්තියත් ඉන්නේ විදේශයක අර මම නම නොකියපු මගේ යහළුවාගේ පෙම්වතිය ඉන්නෙත් විදේශයක ..

ටික දවසක් යද්දි අර මිතුරාගේ පෙම්වතියයි මිතුරාගේ මිතුරියයි දැඩි මිතුරියන් වෙනවා..

මගේ මිතුරා ජීවිතයේ බොහෝ දැ අර මිතුරිය සමඟ කියා තිබෙනවා..(ඔවුන් ලඟම පවුල් ඥතීන් ලෙස ඇසුරුකර තිබේ)පෙම්වතිය සමඟ අඩ දබර වීම් පවා මොහු තම මිතුරිය සමඟ කයා තිබෙනවා.......

ටික දිනකට ඉහත සිට තම පෙම්වතියගේ බොහෝ පෙර නොදුටු චර්යාවත් මගේ මිතුරා දකිනවා...පෙම්වතිය නිතර හැසිරෙන්නේ දැඩි නොරිස්සුම් සහගත බවකින්...

නිතර කතාකිරීමටත් සමීපව සිටීමටත් මගේ මිතුරාගේ පෙම්වතිය දැඩි අකමැත්තක් දැක්වීමත් එක්ක මගේ මිතුරා කරුණු කාරනා සොයා බලලා..

අවාසනාවට ඔහුට හමුවෙනවා තම මිතුරිය තම පෙම්වතියට එවන ලද ලිපි කිහිපයක්..එහි අන්තර්ගතය දකින මිතුරා සිහිසුන් නොවී සිටියානම් පුදුමයක්..

ඔහු තමාට නොගැලපෙන බවද..මෙය විවාහයක් දක්වා කිසිදු දිනයක දුර ගෙන නොයන ලෙසද...තමාට කි බව කියවෙන කේලම් විශාල ප්‍රමාණයක්ද එහි අන්තර්ගතවී තිබුනා..

කරුණු කාරනා වටහාගත් මා මිතුරා වහාම ඊට අදාල පියවර ගනු ලැබුවා...නමුත් දැන් ඔවුන්ගේ සඹඳතාවට තිබෙන්නේ දැඩි අවදානම් සහගත තැනකයි...

බලන්න ජීවිතයට අහම්බෙන් පැමින මිතුරන් වි පසුව පවුලේ සාමාජිකයන් වී ජීවිත වලට කරන බලපෑම්...මේ සමාජ ජාලවලින් අපිට හැම විටම සැබෑ පුත්ගලයින් දැනහඳුන ගන්න ලැබෙන්නේ නැහැ..කපටි ,මානසික රෝගි, තම ඉටු මනාපකම් ඉෂ්ඨ සිද්ධ කරගන්න ඕනෑම දෙයක් කරගන්න සූදානම් පිරිසකුයි වැඩිපුර  මෙතන ගැවසෙන්නේ...

මගේ මිතුරා දැන් පසුවන්නේ දැඩි කලකිරීමකින්...දැඩි අපහසුවකින්..මේ හැම දෙයක්ම ඔහු කීවේ දැඩි වේදනාවෙන්...

ඔහු අවසානෙදි මෙහෙම කිව්වා..."මචං තරහා කාරයෙක් හරි අඳුනන්නැති එකෙක් හරි මේක කිව්වනම් කමක් නෑ..බලපං අර උදේ හවස මල්ලී මල්ලී කිය කිය ඉන්න එකී කරපු හරිය"

බලන්න ජීවිත වලට ආගන්තුකයෝ කරන විනාස..අපි හැමතිස්සෙම අපේ ජීවිතවලට සම්බන්ධ කරගනිද්දි වෙනකෙක් අපි නිතරම දෙපාරක් හිතන්න ඕන..නැත්නම් අනිසි බලපැම අපේ ජීවිත වලටම තමයි..

පරිස්සමින්....

Saturday 11 February 2012

අමතක වීම......




කන් පෙති විවර කලෙමි

නොයිඳුල් හැඬුමට

තෙත බරිතව විය හැක

තවම නැවුම් නිසා නුඹ...


හතරයි විස්සයි...


සටහන් කොට ගතිමි

මනසේ නොමැකෙනා ලෙස

හැඬූ මුල් වර............



සිපගන්ට මග බලයි නෙත

වැලඳ ගෙන සියුම් ලෙස

රිදේවී දෝ මීට

අතගා ගති මම රැවුල......



නවගමුවට නවයක්ද

දොලගමුවට දොලහක්ද

පඬුරුලෑ මතක අග

නුඹ පැමින නව ලොවට...




වින්නඹුව පැමින මට

පුතෙක් බව කී විගස

පිපුණු මල් ඉහ මත්ත

දෙනෙතඟට කඳුලු ගෙන..




සිද්ධ පත්තිනි මවට


බණ්ඩාර දෙයියන්ට

අයිය නායක නමට

භාර උනි පුතු සෙතට............



නුඹේ මව් රැක දෙන්ට

දෙයියන්ට කියන්නට

අමතකව ගිය ටිකට

අරන් ගොස් දෙවියන්ම.....
.


(කලකට ඉහත ලියන ලද්දකි)

පූජාසනය...







පූජාසනේ තියන හැම මලක්ම සීරුවට ආමිස පූජාව පුරලා..මේ හැම මලක්ම හැන්දෑවට කුණූ බඳුන සිපගනීවි..මේ සුවඳ කොහේද ඉඳන් එන සුළඟ අරන් යාවි..ජීවිතය මේ කියලා නොතේරෙන උන් එහෙව් සුවඳට පෙම් බඳීවි..හිතේ පැළ පදියම්කරගනීවි..එහෙම හිතුනට මමත් පෘතග්ජනයෙක්...මම එහෙම මගේ හිතට කියාගත්තේ යාන්තමින් හිතට සැනසීමක් අරන් එන්න...


උත්තුංග දේහධාරී නා ගස කාෂ්ඨකේ කියලා නොබලාම මල් පුබුඳුවලා...බෝ ගස හැම කොළයක්ම අතෑරලා අළුතෙන් දළුලන්න.....පෑගෙන බෝ පත් පිළිවෙලට ඇමඳපු මිදුලේ නාරටි රටා වියලා..


කලකට ඉහත පිවිසුම් දොරටුවේ සවිකල පුවරුව තව තවත් ඒකාලෝක වෙලා...පංසල් බිම උදේ පාන්දර කියලාම නොතකා බොහෝ මිනිසුන්ගෙන් පිරී ගිහින්...


නැකැත් තරු...යන්ත්‍ර මන්ත්‍ර ....සාන්තිකර්ම....මේ හැමදෙයක් අතරම මම මොකක්දෝ නොදන්න අනන්තරීය පාපා කර්මයක පැටලිලා..


ලොකු හාන්දුරුවෝ අපවත් වෙලා තුන්මහ යාන්තමින් පිරුනා විතරයි..මම මේ පින් භවන පවුකාර ගුහාවක් කරලා....


අපේ නායක හාමුදුරුවෝ මට දෙස් තියනවා වෙන්නැති.....උන්නාන්සේ මෙව්වා ඉගැන්නුවේ මිනිස්සුන්ට පිහිට වෙන්න මිසක් නපුරක් කරන්න නෙමෙයි...


මම මොනවද මේ හිතන්නේ...මම මගෙන්ම ප්‍රශ්න කොට ගතිමි...


අම්මා ලෙඩ ගානේ දුක් විඳියි...අක්කා මඟුල අතැර විත් අම්මා සමඟ ගෙවන්නේ දුඃකිත ජිවිතයකි...අක්කාගේ පුතා පාසල් යා යුතුව ඇත...


සල්ලි....මේ හැම දේකටම දෙන්න පුළුවන් වටිනාකම මිල මුදල් වලින්..... මම මගේ සිත සාදාගතිමි...


වෙද හාමුදුරුවනේ දානේ එහෙම වළඳලා සූජානම් උණානම්...අර ඇත්තෝ බොහෝ දුර ගං පලාත් වලින් ඇවිත් ඉන්නේ.....


අප්පු මාමා එසේ කීවේ පැමිණි සැම කෙරෙහි වූ ලෙංගතුබව නිසානම් නොවේ....


අප්පු මාමේ මං පොඩි හාමුදුරුවෝ...වෙද හාමුදුරුවෝ නෙමෙයි.....මා කීවේ බිම බලාගත් වනමය...


අපේ හාමුදුරුවන්ට අද මක්කැයි මේ වෙලා තියෙන්නේ....අප්පු මාමාගේ වදන් තරමක් රළු වූ හැඩකි...


අප්පු මාමේ මං මේ චීවරේ විකුනං කනවා...


මක්කැයි දැන් හාමුදුරුවෝ කියන්නේ.....අප්පුමාමා ආරූඬ වූ සෙයකි...


හැමෝටම මෙහෙම දේවල් ලැබෙන්නෑ...අපේ හාමුදුරුවනේ හාමුදුරුවන් ගැන හිතන්නෙපා...අර උපාසක අම්මලා ගැනයි හයක් හතරක් නොතේරෙන කොළු පැටියා ගැවයි හිතන්න...උන්ට කාත් කව්රුවත් නැහැ අපේ හාමුදුරුවනේ...මෙවුවා නැති උනොත් උන් හාමතේ මැරිලා යාවි..


අප්පු මාමා කියන්නේ අම්මා අක්කා හා අක්කාගේ පුතා ගැනය...


හ්ම්.....මා වෙන කිසිවක් කීවේ නැත....


ආන් දානේ සූඳානම් කරලා තියනවා...වැළඳුවානම් පුංචි හාමුදුරුවෝ බුද්ධ පූජාව තියනවා මං අහගෙන......


මා අකමැත්තෙන් හෝ නැවත මේ කාර්‍යයන් සිදුකල යුතු වේ....එය අප්පු මාමා කියනා ලෙසට සත් කාර්‍යයකි...


අද බොහෝ අවිවේකී දිනයකි....යන්ත්‍ර මන්ත්‍ර තෙපලා උඟුර ලේ රහ වී තිබේ....


අප්පු මාමා පඬුරු සූක්ෂම ලෙස අසුරා පඬුරු පෙට්ටියේ ලෑවේ ආරක්ශාවට ය.


රාත්‍රිය බොහෝ දිගුය....හීන නොපෙනුනත් හිත මොකක්දෝ නොදන්නා රූපයන්ගෙන් බිය වේ....නින්ද  අඩ නික්ද අතර කාලය ගෙව්වා විනා..සුව නින්දක් ලැබුවේ නැත...


හිත නිතරම සංතාපයෙන් වෙලී ගෙනය....ආත්මය පසාරුකරගෙන හෘදශාක්ෂිය නැගීසිටියි....


මං මහ පවු කාරයෙක්.....මම මටම දොස් පවරගත්තේ දොස මටම නියතවම හිමි විය යුතු නිසාය..


උදේ පාන්දර අඳින කඩය දෙහි ගස වසා තැබුවේ නැවත සිරුර නොවසන ස්ථිර අධිෂ්ඨානයෙනි...


මං සිවුර අතාරිනවා..මේ පවුකාරකම් සිවුරුපටින් වහගන්න බැහැ.....මා දැඩි කෝපයෙන් කීවේ විහාර බිම වටා දෝංකාර දෙන්නටය...


පංසලට නුදුරු කුඹුරුයායේ ඈතින් කඩිසර ගමනින් එන අප්පු මාමා දුටු මට මොකක්දෝ නුහුරක් දැනිනි....


අප්පු මාමා මා අසලම නැවතුනේ වික්ෂිප්ත භාවයෙනි..


අපේ හාමුදුරුවෝ මේ මොන නාඩගමක්ද නටන්න සූඳානම් වෙන්නේ...අප්පු මාමා කෝපයෙන් වෙවුලයි...


මං සිවුර අතෑරියා අප්පු මාමේ...මේ පවුකාර වැඩ සිවුරු පොටට හරියන්නෑ...


අපේ හාමුදුරුවනේ එහෙම කරන්න එපා...අප්පු මාමා මා දෙපතුල බදා වැඳ සිටියි..


අපේ උපාසක අම්මා මේ දැන් ආන්තරා උනා පොඩි හාමුදුරුවන්ගේ මෑනියන්ට පාංසකූලෙට වෙන කවුරු වඩින්නද අපේ හාමුදුරුවනේ.....


මයේ අම්මා නැතිවෙලා...මා එසේ කියා නැවතත් සිවුරු පොට ගෙන වෙනදාටත් හොඳින් සිරුර වසාගත්තේ දැඩි භක්තියෙන්...


නිවස බලා හැල්මේ ගියේ අම්මාගේ සිරුරේ යාන්තමින් හෝ උණුහුමක් වේදැයි සොයන්නටය...


නැවත පංසල බලා වැඩියේ සුන් වූ බලා පොරොත්තු අතරින් නැවුම් බලා පොරොත්තුවක්ද සුලැඟිල්ලේ එල්ලාය..


අක්කගේ පුතා.....මගේ ගෝල සාමනේර වසන්සේ....මා ඔහු දෙස බැලුවේ ..කඳුළු පිරුනු දෙනෙතින් යාන්තමට සිනාසෙන ගමන්මය.....


රාහුල....ඇසෙන්නට නොඇසෙන්නට නව නාමය කියා මා ඔහු හිස පිරිමැදීමි.....

Thursday 9 February 2012

මගේ මරණය....









පාන්දර හතරටත් කලින් මට එළියට යන්න හිතුනේ මොකද කියලා මටම හිතාගන්න බැහැ...සීතල ඕනෑවටත් වැඩිය සිරුර වෙලාගෙන..මෝටර් රථයට ගොඩ වුනේ කට කට ගාලා ගැහෙනවත් එක්ක...මම කොහොමත් කැමති වාහනේ වේගය උපරිම මට්ටමින් තියනවට...මම ඒක නිතරම පවත්වාගෙන ගියේ මම ගැන තරමක උජාරුවකිනුත් එක්ක...අතුරුපාරකින් ප්‍රධාන පාරට එකතු වෙද්දි වාහනය තිරිංගත් සමඟ තරමක් ඇදිලා යන විදිහට තමයි වංගු වලදි මම ක්‍රියා කරන්නේ සමහර විට ඒක තරුණ කම වෙන්නැති...නැත්නම් ආයතනයෙන් නොමිලේ ලැබුණු වාහනය නිසා වෙන්න ඇති...

අදත් පුරුදු විදිහට වාහනය ගේ ඉස්සරහා අතුරුපාරෙන් ප්‍රධාන පාරට එකතු කලා විතරයි....හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ..වේගයෙන් ආපු මහ විසාල ලොරිය නැවතුනේ මගේ මෝටර් රියේ වැදිලා ඊටම අමුනගෙන තරමක දුරක් විදුලි කණු කිහිපයකුත් කඩාගෙන ගිහින් තාප්පයකුත් කඩාගෙනයි ...

හරිම පුදුමයක් මට මාවම පේනවා....මට මේක අදහා ගන්නත් බැරි උනා....මගේ හිස් කබල කොටස් කිහිපයකට කැඩිලා...අසුන් පටි නොපැළඳ සිටි මට එහෙම උනු එකත් පුදුමයක් නෙමෙයි..එයාර් බෑග් ක්‍රියාත්මක වෙලා තිබුනත් ලොරියේ ඉදිරිපස කොටසෙත් හිස් කබලේ කොටස් තිබුනා..තාප්පයේ හෝ විදුලි කණුවේ කම්බියක් නළල පසාරුකරගෙන අර කැඩිච්ච හිස් කබල අතරින් ගිහින්....මම මැරිලද ?මම මගෙන්ම විමසුවා...වෙන්නැති හිත කිව්වේ එහෙම...






මගේ කකුලක් තිබුනේ සුනුවිසුනු වෙලා...මටම හිතුනා මේ තත්වෙන් ජීවත් නොවුනු එක හොඳයි කියලා.....

පාන්දර නිසා මිනිස්සු අදාල ස්ථානයට එන්න තරමක් වෙලා ගියා..

පොලීසිය,වෛද්‍ය කණ්ඩායම් ආවේ මහත් වේගයකින්...ලොරියේ රියදුරා හිටියේ බිරාන්ත වෙලා..

පොලීසියත් අනිත් අයත් විශාල වෙහෙසක් දරා සිරුරු කොටස් ඉවත් කලා...

අම්මෝ...මේ මමද?....මම මගෙන්ම විමසුවා...

එක්වරම මාව යම් දිසාවකට ඇඳගෙන යනවා වගේ දැනුනා...මට මේ තත්වය හුරු නැති නිසා මමත් ඔහේ යන්න ඉඩදීලා බලාගෙන හිටියා....

මහා විසාල ශාලාවක්...කිසිම දෙයක් නැහැ...දුරම දුර යාන්තමින් එළිය එන කවුළු කිහිපයක් තිබුනා..මම ඒ එළිය තිබුනු දිශාවකට ගමන් කලා...

ඔහොම නවතිනවා...ඒක මහ දරුණු අණ කිරීමක්....

කිසිවෙකුත් පේන්න නොහිටියත් හිත තද බියකින් වෙළුනා......

මම නැවතුනා....

තමුන් ඔය කොහේද යන්නේ.......

ආගන්තුකයා විමසුවේ එවර තරමක් සංසුන් ලෙසට...

දන්නෑ.....මම පිළිතුරු දුන්නේ අසංවරව කැඩුනු අකුරු එකතු කර....

ගන්ධබ්බයා...දැන් තමුන් ගන්ධබ්බයෙක්....මැරිලා ආත්මයක් හොයන මිනිහෙක්....මේ හැම දේටම කලින් ගෙදර යනවා...දෙන පින් ගන්නවා...

ආගන්තුකයා කීවේ නිවුනු හඞිනි...

මම කොහොමද යන්නේ...

මම විමසුවේ සැබවින්ම නොදන්නා බැවිනි...

හිතන්න හිතන තැනට යාවි....පින් තියනවානම් හොඳ වාසස්ථනයක් ලැබේවි...

මා දෑස් වසා නිවස ගැන සිහි කලෙමි..

සැනකින් මා නිවසේ මිදුලේ නැවතීමි...

නිවස පුරා බොහෝ අය එක් රැස්ව සිටි අතර මාගේ මිතුරන් විශාල පිරිසක්ද විය..

අනේ පවු බං අහින්සකයා...මිතුරන් එලෙස කියනවා මා පළමු වර ඇසුවේ එදාය...

මිතුරන් හඬයි වැලපෙයි..මවුපිය පාර්ශවවල  සියල්ල එකතු වී තිබේ..

සිරුර නිවසට රැගෙන එන විට රාත්‍රී දහයද පසුවී තිබින....අඳෝනා බොහෝ වැඩිවිය..

සංවිධායක කමිටුවක්ද පත්ව සිටි අතර හිතවත් හාමුදුරුවරු කිහිප දෙනෙක් එහි පෙරමුන ගෙන තිබිනි...

රාත්‍රී දෙළහා පමන වනවිට සිටි පිරිස ඉතා විශාල විය..ඒ අතර පහල වත්තේ සිරිපාල මාමාද විය ...අපි බූරු පිටියක් දාමු....ඔහුගේ බසට බොහෝ දෙනා කීකරු විය.....සීයට තිහක් තොන් ගමු..තවකෙක් යෝජනා කල හෙයින් එයද සම්මත විය..

මාගේ කාර්‍යාලීය මිතුරන් කිහිප දෙනෙකු දුක තුරන් කරගන්නට මගේ කාමරයේම මදුවිත සූදානම්කර තිබේ...මා ගිජුව එදෙස බැලූවෙමි......

අල්ලපු ගමේ සෝමා අක්කා සංග්‍රහ කටයුතු භාරගෙන තිබේ..හොරෙන් ඉඳහිට තාප්පයෙන් එහා පැත්තට සීනි..තේ කොළ විසිකරනවා මා බලා සිටියේ විමතියෙනි...මා තාප්පයේ අනෙක් අන්තය බැලීමි..

අහ්....සෝමක්කගේ කෙල්ල එහා පැත්තේ.....මේ දෙන්නා අපූරු නාඩගමක් පටන් අරන්...මම සිනාසුනෙමි


අම්මා හා පවුලේ ඥාතීහු කිහිප දෙනෙකු පමනක් හෘදයාංගමව දුක් වූ බවක් පෙනින...අයියා අයියාගේ බිරිඳ සමඟ මට හිමි ඉඩම ඔවුන්ට අයත් බව පවසා එය ඔවුන්ගේ ඉඩමටම ඈඳවා තාප්පයක් බඳින අයුරු කතිකා කරමින් සිටියේ දැඩි අද්දාමයෙනි..

අක්කා මස්සිනා සමඟ සාකච්චා කලේ අම්මාව මැදිහත් කොටගෙන රක්ෂණ වන්දි මුදල ගැනීම පිළිඹඳවය...


එහි විශාල මුදලක් වන බවත් ඉන් මෝටර් රියක් මිලදි ගන්නා අයුරුත් ඔවුන්ගේ කතාවල විය...

මේ සැම අතර තුර බූරු පිටිය ඉහල මට්ටමින් පැවතිනි..දහසේ මොණර කොළ එහෙමෙහෙ ගියේ ක්ෂණයකිනි....

මාගේ මිතුරන් දැන් පඳමට බමන මතිනි..මළ ගෙදරට පැමිනි සියල්ල අතරේ ලොකු මාමාගේ දුව මගේ මිතුරෙකුට ඉඟි බිඟි පායි..කවුරුන් හෝ දුටු පමණකින් දැසේ කඳුළු පුරව ගන්නා ඇය දැඩි ශෝකි බවක් මුවින් පල කරයි...

මේ විගඩම් මා මල පසුම සිදුවීම පිළිඹදව මම අතිශය සතුටු වීමි....සැබවින්ම මා මියයාම පිළඹඳව මා අසීමිතව සතුටුවීමි.....මළගෙයද අවසන දානය හා බණද අවසන් වන තෙක් මා සිටියේ මේ නිවසේ දැඩි අප්‍රසන්න භාවයෙනි...

කලකිරීම හිතේ තදින්ම සනිටුවහන්ව තිබුනි...මේ ජීවිතේ මළ පෙරේතයෙකුටවත් ඉන්න හොඳ තැනක් නෙමෙයි...මා මටම කියා ගතිමි..

යලිත් මා සුපුරුදු ශාලාවට ගියෙමි...

ඉහත කී හඬ යලිත් මා ඇමතීය...

තමුන්ට ආයෙත් මනුස්ස ලෝකෙට ඉක්මනින් යන්න පින් ලැබිලා....ඔහු කීවේ සැහැල්ලුවෙන්...

මනුස්ස ලෝකෙට....අනේ මට එපා...පින් සිද්දවෙයි අපායට හරි ...වෙන ඕන තැනකට යවන්න ....මම බැගෑපත් වුනෙමි.....


Tuesday 31 January 2012

ලෑන්ඩ් සේල්






අහස වියළිලාය
නිරුවත්ය පොලෝ තලයම
තෘණ පලස ලිහා දමා

ඉඳහිට ඉගිල්ලෙති ලිහිණින්
මළ කඳන් ඔසවා
ඉඩෝරය උහුලනු නොහැකි උන්ගේ

මුචලින්ද දරණය අතැර ගොස්
පත් අතැ'රි වෘක්ශ මූලයෙන්

කෝ මෛත්‍රී බුදුනට
පිට දෙන්ට වෘක්ෂයක්

"ලෑන්ඩ් සේල්" මහතුනි
හැකිනම් ඉතිරිකරනු එක ගහක්වත්

බණ පදයක් අහන්නට
මෛත්‍රී බුදුන්ගෙන්.......

උන්නාන්සේට පිට දෙන්ට
බුදුවන්ට...............!!!!

Friday 20 January 2012

ගිණි කඳු..





ඉර සෑම දිනකම හැන්දැව අරගෙන එන්නේ අම්මාගේ පිරිත් හඬ සමඟය..එය ලයාන්විතය,සවන සැහැල්ලුවෙන් පිරිමදියි..පිරිත් හඬ කටු මැටි නිවස වටාද ඉනික්බිති කඩුල්ල පැන වෙල් දෙනියටද දුවයි..ඉද්ද  ගස ඊටම සැරසී සැම සවසකම නෙලන්නට මල් උදෑසන පුබුදුවයි...පොල්තෙල් සුවඳට සඳුන් දුම මුසුවූවිට නිවස පන්සලක සිරි ගති...පන්සල් සුවඳ ගනී..අම්මා කියු නැලවිලි ගී සිහි කැන්දමින් බොහෝ රාත්‍රී වලට නින්ද කැන්දන්නේද එහෙව් පිරිතය.



"මොන කංකරච්චලයක්ද...හැමදාම හය වෙන්න නැහැ පටන්ගන්නවා..ඔය කියන දෙයක් අනිත් අයට කරදරයක් නොවෙන්න කියන්න"....


අක්කා නිවසේ අදිපත තම අතට ගැනීමට පළමු වෙඩි මුරය තැබීය.


විද්‍යාපීඨ අධ්‍යාපනය නිමවා අක්කා ගමට පැමිණියේ පළමු පත්විම උපන් ගමටම ගෙන පැමිනීමේ වාසනාවද සමඟය..මුත් අක්කාගේ උගත් බව උද්දච්ච බවක් වී තිබුනි..


ලොකු දුවේ මං මේ පිරිත් ටිකක් කිව්වේ උඔලැම යහපතට නොවැ....අම්මා එසේ කීවේ දෑස් කුඩාකරමින් බොහෝ හැඟුම් බරවය..


මට පාඩම් කරන්න තියනවා..දවස තිස්සෙම ඉස්කෝලේ ළමයින්ගේ කං කරච්චලේ..ගෙදර මේ සමයං...


අම්මාගේ දැස කඳුලින් තෙත් විනි..


අම්මාගේ දෑසේ මෙතරම් ලොකු කඳුළු කැට මින් පෙර මා දැක නොතිබිණි


"පාහර බැල්ලි" මා ජීවිතයේ පළමුවර අක්කාට එරෙහිව නැගි සිටියෙමි...


'"මද්දු කට වහපං"


අම්මා දැඩි ස්වරයෙන් එසේ කීවේ මා හා අමනාපයෙන් නොව මා අක්කා හා ගැටීම වලක්වනු පිණිස බව මා දනිමි..


මා නිහඬවීමි.


එදිනෙන් පසු අම්මාගේ පිරිත් ස්වරය සිහින් කෙඳිරුමක් විය..එය දෙතොල් හරහා පිටත වා තලය වෙනදා තරම් මටසිලිටුවට ස්පර්ශ කලේ නැත.


අම්මාගේ පිරිත් ස්වරය සිහින් ඉකිබිඳුමක් කල අක්කාට මා හදවතින්ම ශාප කලෙමි.


"අක්කා මාරුවක් හදාගන්නට යන විත්තිය මා දැන ගත්තේ ග්‍රාමසේවක මාමාගේ මාර්ගයෙනි...අවම පහසුකම් තිබෙන පාසලක් බැවින් වෙනත් පාසලක් ඉල්ලා අක්කා අයදුම්පත් යොමුකොට තිබිණි.


අම්මා මේ බැව් දැන පුදුම වූයේ නැත..කෙල්ල දැන උගත් එකී ..අපිට වගේ නෙමෙයි අක්කට යමක් කමක් වැටහෙනවා.


අම්මා එසේ කීවේ හිත සාදාගැණිමටම බව මම දණිමි.


කාශ්ඨක පොලවේ ලද ජීවිත පණ්නරය හමුවේ අම්මා මෙවන් දේට නොසැලී සිටිම පුදුමයක් නොවේ..


ඔන්න ඔහේ ගියාවේ...මා මටම කියා ගතිමි.


මාස කිහිපයකට පසු අක්කා නව පත්වීම ලැබ ගම අතැර ගියා ය.


පිරිත් හඬ නැවත ගේ පුරා දෝංකාර දුනි...කලකට පසු වැසි වැස්සා සේ හිත පිරි ඉතිරී ගියේ දැඩි සතුටකිනි..


අනේ ලොක්කිට මම මේ සෙත් පතනවා...අම්මා කියන්නේ නැවතත් දෑස් තුල කඳුළු පුරවමිනි..


මට අම්මගේ හිත තේරුම් ගන්න බැහැ..මම මටම කියාගතිමි...


දුරුත්ත නිමවෙන්නටත් මත්තෙන් අක්කාගෙන් ලිපියක් විය...අක්ක කසාද බඳින්න යනවලු. අම්මා එසේ කීවේ දැඩි ශෝකයකින් නොවේ...


මෙච්චර ඉක්මනට.....


මා විමුසුවේ අම්මාටත් වඩා ශෝකයෙනි...


මෙච්චර ඉක්මනට ....අක්කා මොකක්ද මේ කරන්න හදන්නේ..අපිට රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්න බැරි කරලා තමයි මේකි පස්ස බලන්නේ .....


අපිට එන්න කියලා නැතෙයි......


අම්මා විමසන්නේ එතරම්ම උවමනාවකින් නොවේ..


නැහැ බඳින විත්තියක් විතරයි තියෙන්නේ...දිනයක් එහෙම නැහැ..අපේ මොකෝ කැමති දෙයක් කරගත්තාවේ..


මා එසේ කීවේ අම්මා සනසවන්නටය.


හ්ම්...අම්මා ඉන් ඉදිරියට කිසිවක් කීවේ නැත.


මේවා ගම්මු දැනගත්තු දවසට අපි පාරෙ බැහැලා ඉවරයි.....
_______________________________________________


දිනෙන් දින ගෙවිණ......දුරුත්ත නිමාවූයෙන් අක්කා මේ මස බඳීවීයි හිත කිය..


අක්කා කරනා දෙයින් ගමට පාසලට මුහුන දෙන්නට නොහැකිවන්නේ මටය..මා හදවතින්ම අක්කාට ශාප කලෙමි...


දිනක් උදැසන නිවස ඉදිරිපිට නැවැත්වූ කුලි රථය දැක අම්මාත් මමත් වික්ෂිප්ත වූයෙමි.


අම්මා සිටියේ පොල්ලතු වියමිනි...මා සිටියේ ඊට තරමක් නුදුරිනි..


අක්කා මඟුල් ඇඳුම පිටින්ම කුලී රියෙන් බැස නිවෙස තුලට දිවගියේ "අර කාලකන්නියා මාව රැවැට්ටුවා..අද වෙන එකියක් එක්ක පැනලා ගිහින් කියමිනි.."


මමද අම්මාද කුමක් කල යුතුදැයි මුහුනට මුහුන බැලීමි..අම්මා ගනනකට නොගෙන යලිත් පොල් අත්ත වියන්නට විය...


පොල්අත්ත පසෙක තැබූ අම්මා නිවස තුලට පිය මැන්නේ දැඩි කලකිරීමකිනි....


ලොක්කියේ අර කොල්ලට යන කලදසාවක් තියෙන් ඹ්නේ...කොල්ලා කොහොමද පාරෙ බැහැලා යන්නේ ..පිං සිද්දවෙයි අර ගියා වගේ කොහේ හරි  පල....උඔට ලැජ්ජාවක් නැති උනාට අපිට තියනවා..කාලකන්නි බැල්ලි....අපේ මූනේ තෝ දැලි ගෑවා..


අම්මා මෙතරම් දරුනු ලෙස හැසිරෙනු මා දුටු පළමු අවස්ථාව මෙයයි ..කවරදාකවත් නුදුටු ගිනි ජාලාවක් අම්මාගේ දෑසේ මැවි තිබිණි..


කැත්තගෙන මිදුලට පැමිනි අම්මා මායිමේ තිබුනු  එරමිනියා පඳුර සුනුවිසුණු කලේ"පොළවේ සාරෙ උරාගෙන මෙව්වනම් යසට හැදෙනවා" කියමිනි.


අක්කා නිවසින් නික්මිනි...කඩුල්ල පනින්නට ඔන්න මෙන්න තබා නැවත අම්මා අක්කා අමතා...


"ලොක්කි ගෙට පල...උඔට ඹ්නේ විදිහට නටන්න හදනවා නෙමෙයි..."


අක්කා නැවත නිවස තුලට පියමැන්නේ බිම බලාගත්වනමය...


පසුව සෑම සවසකම පිරිත් ස්වරය වෙල් දෙනිය හරහා වැව් දිය පිරිත් කලේ කවදාකවත් නැති ශාන්ත බවකිනි.

Sunday 15 January 2012

මඟහැරුනු කඳුළ.........


.
අඬන්නටේ කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත...අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..."අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන...

මොනා කරලද මෙදා පාර..

වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...

උසාවි දාලා තියෙන්නේ කවදටද?

මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...

පව්......මා එසේ කිවා නොවේ කියවිණි...

අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ..පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ..සෝමෙ අක්කට දිලා රුපියල් පන්සියක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා...මල්ලිව බලා ගනින්..

කරුනේ මාමා තාත්තව එළියට ගනිවි..මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...

මා කටින් නොකිව යුතු යමක් කියවිණි..

මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම...දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...

හ්ම්.....

මා කිසිවක් කියන්නට ගියේ නැත..

මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි...කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා...තූ නොදෝකින් පාහර හැත්ත...

මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මද සිනාවකිනි...

හ්ම්..නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....

අහිංසකයා...මා මල්ලි ගැන දුක් වුනෙමි..

තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් උවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමි...හේතුව ලැජ්ජාව විය යුතුය..අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්‍රශ්ණ කලෙමි...

මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය...කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි...පසුව දර මිටිද..සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි..පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි....පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි..මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය..හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි...හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබු පසුවය..

තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි..එයද කුකුල් නින්දකි..වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි...පොලීසිය ,.උසාවිය..මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත..එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි..සියළු නිළධාරීන් හොඳින් හඳුනයි...මුත් කිසිදු පිළිගැණීමක් නැත...

තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත..හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...

තාත්තා බේබද්දෙකු නොවේ..නමුත් නොබොන්නෙකුද නොවේ..අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත..ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..

මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි...තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි..අන් සියල්ල අප වෙනුවෙන්මය.අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය..කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත..අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ..කැමට යමක් වැරදුනේ නැත..කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..

අම්මා නැවත පැමිනියේ  රුපියල් පන්සියයක්ද අතැතිවය...

අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?

මොකද උඔ දෙන්නද?

නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?

ඔය බොලගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක..උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ ..අම්මා හූල්ලයි..

කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..

විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...

නෑ මුකුත් නැහැ...අම්මා යන්න පරක්කු වෙයි....

මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....

අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.

අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්‍රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි..රුපියල් විසි හය දහසක් එහි විය...

තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපැස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා...පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්....මේ අපේ තාත්තා..අපිට වෙන කවුරුවත් නැහැ..තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..

රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි ..හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය...සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි...අම්මා ගෙදර පැමින නැත...මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..

හතර පසුවිය...අම්මා හෝ තාත්තා තවම නැත..හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...

හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....

කෝ අම්මේ තාත්තා...

අම්මාගෙන් පිළිතුරක් නැත...

කෝ අම්මේ අපේ තාත්තා.....මම කෑ ගැසීමි.....

උඔලෑ තාත්තා එන්නෑ පුතේ....අම්මා මට පුතේ කී පළමුවර එයයි..

මොකක්ද වෙලා තියෙන්නේ...කියන්න....මම බැගෑපත් වුනෙමි...

කිසිවෙකු කිසිවක් නොකියයි......

කියපිය යකෝ තාත්තට මොකද උනේ..

පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...

මා සිහි විකල් විය..

පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..මම මහ හඬින් කෑ ගැසිමි..

උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා...තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා..අපි දෙයියෙක්ව මරාගත්තා...අම්මා මොර දෙයි..
අපි උඔලගේ තාත්තව තනි කලා....තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා...ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ...ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා...උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා....මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය...උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා...අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ ..එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....

පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..

මා බයිසිකලයේ පැටලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය. ..
 

Friday 13 January 2012

තුරු එනතුරු.....








සරත් සමයේ වැටුනු තුරු පත්

සොයනවා සුළඟක්...

යලිත් එසවී මදක් ඉහළට

වසන්තය එන මං බලන්නට.....




නැතේ අනුකම්පාවක් සුළගත්

හමා යයි වෙනතක......

නැහැ වසන්තය මෙදා පාරත්

අරන්විත් ඉක්මන් වැස්සක්....




පේන නොපෙනෙන තරම් දුරකින්

මල් පිපී දුලනා අකලට......කොහොම ඉවසමි

මට නොමැති කල වසන්තය නැවතත්

පොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්.......

කුස වුණු පබාවතී...





මං ජයම්පතී නොවේ

මුත්

ඔහු කුස රජු උනාවේ.....



පබාවතිය නුඔ
ගනු බොහෝ වැඩ රාජකාරි....



මං බලන් ඉන්නම්

සත් වස නිමවෙනා තෙක්


ගෙවදිමු....



කුලී මාළිගාවට......



නුඔ කුස නොවී සිටියොතින්

කුස රජ්ජුරුවන්ට දාව......



ඇඹිල්ල ඇටයකුත් වදාවි

මහ විසාල වෘක්ෂයක්.....
..........................................................................
ප.ලි

අජාසත්තම වදාපන්

මරන්නට පිය රජ...
.

බෝ මෙලෙසට.......



 
බෝ පතක් සැලී
නැහැ වැටුණි බිම....

රැකගතිමි

දෑත් අතර වෙයි තවම නැවුම් එය...

පෑගිච්ච
 මුල් දිහා
නැත හෙළා තවම නෙත්......

මුත්
 සතුටකී හිතට
බෝ කොළය දෑත් මත.... 

Wednesday 11 January 2012

සබඳ අපි පතොක් වෙමු..!!





..
පතොක්  හටගනුයේ නිස්සාර භූමියේය..කාෂ්ඨක කතරේය...පතොක් හී අපූර්ව දයාබර පෙනුමක් නැත...හැඩ ගැසි තිබෙන්නේ සැඩ හිරුට පෙම් බඳින්නටම ය...

පතොක් ගස කුමන හෝ සැපතක් පතන්නේ නැත...ලබන්නේද නැත...ඉල්ලන්නේද නැත..ලැබෙනා දේ විඳියි...අහස කතරට වැහි දිය එක් කරයිනම් පතොක දිය බිඳක් බි ගනී..ඉනික්බිති කලාතුරකින් ලත් දිය තමා තුල පැළ පදියම් කර ගනි..එය ජීවිත කාලයකට ප්‍රයෝජනයට ගනී...නොවැස්සා කියා අහසට දෙස් නොතියයි...


පතොක් ගස බොහෝ දුක සේ වැඩෙයි...හිරුට දොස් කියන්නේද නැත...කලකදී බොහෝ සුන්දර මලක් හෝ කිහිපයක් දරයි....විඳි දුක පෙන්වන්නටදෝ බොහෝ කටු රඳයි...කටු අග විශද එක් කොට ගනී.බොහෝ වෙහෙස ගෙන පිපිදවූ මල සුරකියි....නෙලන්නට එනවුන් වනසයි.....


සබඳ අප පතොක් වෙමු...විඳි දුකට ශාප නොකරමු...!! දරමු මල් ....එලෙසම රැක ගනිමු..!! සබඳ කුමට  තවත් අනුකාරක...මේ ජීවිතයට පතොක් ගස හැර...!!