Tuesday 6 March 2012

මරණය පෙනි පෙනී..






අතුපතර විහිදුන ගසක දෙබලකට මා නැගගත්තේ දැඩි වෙහෙසක් ගෙනය..රාත්‍රිය නිසා මුලතිව් මහ වනයේ බොහෝ වනචාරීන් සිටිය හැක..අවි ගත් වුන් මෙන්ම දත් විලිස්සූ උන්ද වෙයි..ලේ ගලනා කකුල තවමත් රිදුම් දෙයි....ලේ බිඳු ගස දිගේ පහලට ගලයි..ලේ සුවඳට දිවි වලස්සු ගස වටේ එකතුවනු ඇත...මා ලේ බිඳු පිසදා වෙනත් අත්තකට ගියෙමි...තරමක් දුරකින් කටහඩවල් ඇසෙයි...ඒ හඩ නියතවම දෙමලය..



ටෙරාලා සෙට් වෙලා. .....මා මා හටම කියාගතිමි....


මා සිටි ගස යටින් තුන්දෙනෙකුගෙන් සමන්විත සිරික්සුම් කණ්ඩායමක් විය..ආටි...රිපීටර්..මෙන්ම ටී 56 අවිද ඔවුන් සන්තකයේ විනි..මට ඔවුන් පැහැදිලිව පෙනෙයි..


මැරෙන එක මුං මරාගෙනම මැරෙනවා..

ඇසිල්ලකින් අත තිබූ ටී 56 වර්ගයේ ගිණි අවියට ඉතිරිව තිබූ අවසන් පතුරම් කොපුව ඇතුලත් කලෙමි..මානය බලා හැල්මේ සියළු පතුරම් නිමාවෙන තෙක් වෙඩි තැබීමි...අත වූ අත් බෝම්බයක්ද පහතට හෙළුවේ යාන්තම් හෝ හුස්ම ගන්නා යමෙකු පහත සිටිය හැකි බැවිනි..

හනි හනිකට ගසෙන් බැස ගතීමි..ත්‍රස්ථයන්ගේ සිරුරු කොටස් බැලූ බැලූ අතය..මා හට වේදනාව අතරින් සතුටක් විය....මියගිය ත්‍රස්තයෙකුගේ පපු රුඳවුමෙහි තිබූ පිරුණු උන්ඩ කොපු කිහිපයක් හා තවත් ගමන් කතනයක් මා අත්පත්කරගත්තේ ආයාසයකින් තොරවය..

ත්‍රස්ත පාලන ප්‍රදේශ ඇසෙනා මානයේ විය හැකිය..නොමැතිනම් තුන් දෙනෙකුගෙන් පමණක් සමන්විත පිවිසුම් කණ්ඩායම් කඳවුරෙන් පිටත සැරිසරන්නේ නැත..

කල්පනාකිරීමට කාලයක් නැත..ත්‍රස්තයන්ට අයත් වතුර බෝතලයකින් දාහය තරමක් නිවාගත් මා කකුල තරමක් ඔසවමින් ඉදිරියට සේන්දු විය.

පෙර නොවූ දහිරියක් හිතේ විය....කොහෝම හරි කෑම්ප් එකට යනවා මා තදින් කියාගතිමි..


කකුලෙන් වෙන්වුනු මුත් සිරුරෙන් ඉවත් නොවුනු මස් වැදැල්ල ගමනට මහත් හිරිහැරයකි..කලවා කොටසේ වැඩි ප්‍රමාණයක් ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරුව ඇත...අතරින් පතර කෝටු කැබළි වල වදින කකුල එක්කලේ දැඩි වේදනාවකි..අවස්ථා කිහිපයකදීම කකුලේ එල්ලෙමින් තිබූ මස් වැදැල්ල කටු අකුළුවල පැටලිනි..

වේදනාව දරාගනු හොහැකි තැන පොළවේ දිගාවී එහෙ මෙහෙ අත වේගයෙන් ඇදුනි..දත් වේදනාව සමඟ පොපියනා බවක් විය...අතට හසුවුනු බොහෝ දෑ දත් වලට අල්ලා වේගයෙන් හැපීය..මුත් වේදනාවේ අඩුවක් නොවිනි...


අතට හසුවූයේ කළු ගලකින් කැඩී වෙන්ව ගිය ඉතා තියුණු කළුගල් කැබැල්ලකි..මස් වැදැල්ල එක් අතෙකින් පසෙකට ඇද අනෙක් අතින් මස් වැදැල්ල කපා දැමීමට මා අසීමිතව වෙහෙසුනෙමි...හය හත් වරක උත්සහයකින් පසු මස් වැදැල්ල සිරුරෙන් වෙන්කර ගැනීමට මා සමත් වූවත් සිරුර බොහෝ දුබල වූ සෙයක් විය..

නැවත දෙපයින් නැඟීසිටීමට කිහිප වරක් උත්සහ කලද එය අසාර්ථක වූයේ සෑම අවස්ථාවකම කපා හෙලූ කෙසෙල් කඳක් සේ බිම වැටුනු නිසාය..

වැටුනු සෑම අවස්ථාවකම එරමිනියා කටු සිරුරේ බොහෝ තැන් සිදුරු කරවීය..

රාත්‍රිය බොහෝ දිගුය..මා තවමත් පියවි සිහියෙන් සිටීම මටම අදහාගත නොහැකි විය...එළිවෙන්නට මත්තෙන් ජීවිතය සොයාගත යුතුය නැතිනම් සියදිවි නසාගත යුතුය..මා හැකි තාක් දිරි ගෙන නැඟී සිටියෙමි...


කඩාවැටුනු ලී දන්ඩක් ගෙන එහි වාරුවෙන් අපහසුවෙන් පිය එසවීමි...

ඉදිරියට තැබුවේ අඩි දහයක් හෝ පහලොවක් පමණි..එහෙ මෙහෙ දුවන විදුලී පන්දම් එළි බොහෝමයක් විය..අතරින් පතර ගමන් කථන හඬද දෙමළ බසින් කියනා මොන මොනවාදෝ ඇසෙයි හඬේ තරමින් දහ දොළොස් දෙනෙකුවත් සිටිනවා විය හැක..


මා බිම දිගාවීමි...දිගාවී මාතෙක් පිහිටට තිබූ දඩු කැබැල්ල හඬක් නොනැගෙන්නට බිමින් තැබීමි..


දුවන්නට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය නොමැත..මා බිම දිගාවී මුහුන කොළ රොඩු අතර සඟවා ගතිමි...


දැන් මෙම පිරිස සහ මම අතර දුර මීටර් දහයක් හෝ පහළවකි..නියතවම ඔවුන් ඉහත වෙඩි හඬ ඇසී පැමිනි පිරිසක් විය යුතුය..


දැන් පිරිස මට අඩි ගනනක් දුරිනි..තවත් මිනිත්තු කිහිපයකින් ඔවුන් මා පසුකර යන ලදි...

දැන් ඔවුන් මා පසුකර මීටර ගනනක් ඉදිරියෙනි..

මා සැනසුම් සුසුමක් හෙලීය....

ගතවූයේ විනාඩි කිහිපයකි..මා ත්‍රස්ථයින්ගෙන් ගත් ගමනි කථනය එක්වරම ක්‍රියාත්මක විය..එම හඬින් ඉදිරියේ වූ ත්‍රස්තයන් මා දෙසට හැරුනේ ක්ෂණයකිනි..

කල යුතු වෙනත් දෙයක් නැත...එක්වරම මා ගිණි අවිය ක්‍රියාත්මක කළ හෙයින් ත්‍රස්තයන් අන්දමන්දව බිම ඇද වැටිනි...

වැටුනු ත්‍රස්තයින් අතරින් පණ තිබූ අයෙක් අත් බෝම්බයක් මදෙසට දමා ගැසීය නිවැරදිව මා සිටි පෙදෙස නොපෙනුන නිසාදෝ එය පුපුරාගියේ මා සිටි තැනට අඩි කිහිපයක් ඉදිරියෙනි..දකුණු අත සිරුරට සවි වී තිබුනාද ගැලවී තිබුනාදැයි මා හඩ පැහැදිලි දැනීමක් නැත..මා මා සතුව ඉතිරිව තිබූ අත් බෝම්බය එදෙසට දමා ගැසුවේ සිරුරේ තිබූ අවසන් ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් විය යුතුය..

කකුලේ වේදනාවත් අතේ වේදනාවත් උහුලාගත නොහැකි විය...

පැය කිහිපයක් මා සිහියත් අව සිහියත් අතර විය....මා මරණය දෑස මානයේ තබා නිවැසියන් හා හිතමිතුරන් සිහිකර දුක් වීමි..

වේදනා විඳිනවාට වඩා සියදිවි හානිකරගැනීම වටී..මා ඉතා අපහසුවෙන් ත්‍රස්ත මළ සිරුරු වෙත ලං වූයේ ඔහුන් සතු ගිණි අවියක් ගෙන මා ප්‍රාණය නිරුද්ධ කරගන්නටය..

ඉදිරියට බඩගා ඇදුනේ කවරදාකවත් නැති ශක්තියකිනි...

ගිණි අවිය කුමන වර්ගයේදැයි දැනුමක් නොවිනි..එය ගෙන නිකටට යටින් තැබීමි..වේදනා ගෙන දෙන දකුණු අතේ දබර ඇඟිල්ල කොකා ගැස්සවීමට තරම්වත් සවි නොවිනි..මා කිහිප වරක්ම එසේ උත්සහ කලත් එය ව්‍යාර්ථ විය..

යලිත් ඈතින් යම් හඬක් ඇසේ සටනට මා සතුව සවියක් නැත..

මා ඒ දෙසට බඩගා ඇදුනි..





සර් මේ දැන් ටෙරාලා මෙතනින් ගිහින් තියනවා..මට අවසනට ඇසුනු හඬ මා නැවත නැඟී සිටවීමට සමත් විය..

මා සිරුරේ සියළු වෙර යොදා සර් මම ....ම්...ම්...ම්..මම ..කියාගත්තා පමණි..මා හාත්පසම කළුවර විය...කෝප්රල්...කෝප්රල්....කිහිප දෙනෙකු එසේ මා අසළම කෙදිරීය..

දින දහනවයකට පසු මා නැවත මේ ලෝකය දිටිමි..මුත් අතක් සහ පාදයක් මා හට අහිමි වී තිබිණ..


යුධ හමුදා ඉහල නිළධාරියෙකු ජාතික රෝහලට පැමිනියේ භූමි පුත්‍ර පදක්කම සහ තවත් බොහෝ දැ රැගෙනය...මා යාන්තමින් එසවී ඔහුට ආචාර කලෙමි.

7 comments:

  1. ආපහු නපුරු කාලේ මතක් උනා...
    අර කකුලේ මස් කෑල්ල ගැන කියවද්දී ඇග හිරිවැටුනා...
    ලස්සනයි හැමදාම වගේ සාර්තකයි....(ඔයා ඉතින් කොහොමත් No.01 නේ..)

    ReplyDelete
  2. ඔය ජාතියේ සිද්ධි කී දාහක් ලක් පොලොවේ වෙන්ඩ ඇත්ද !

    හොඳ නිර්මාණයක්. ජය !

    ReplyDelete
  3. මුල් ටික කියවගෙන යද්දී මට කියවිල්ල නවත්තන්න හිතුනා. මොකද මම මේ වගේ දරුණු බිහිසුණු දෙවල් කියවන්නවත් බලන්නවත් පුලුවන් කෙනෙක් නෙවේ.ඒ නිසා සමහර තැන් මග ඇරලා අන්තිම තැනට ආවෙ. මට ඉර හඳ යට ෆිල්ම් එක මතක් වුනා ඒත් අවාසනාවට ඒකේ මේ වගේ සිද්දියක් තිබුන තැනත් මන් ඇස් කන් වහගෙන හිටියේ වැඩි කාලයක්.
    කොහොම උනත් ඔයාගේ නිර්මාණා බොහොම අපූරුයි සංවේදී. හැබෑවටම අපේ කාලයේ කතාවක්

    ReplyDelete
  4. ලියන්න ඕන තැන මගහැරලා මිනිස්සුන්ට ඕන දේ ලියන එක හොඳය්,එත් මම නම් කියන්නේ නියම දෙය ලියන්න පුළුවන් නම්,,අමිහිරි දේවලුත් ලියන්න පුළුවන් නම් ...ඒක අනාගත සොල්දාදුවෙකුගේ ජීවිතයට වටිනවා..ලියන්න බොරු නමකින් ,,,ඔයා දැකපු,අහපු, ඇත්ත කතන්දර ...යුද්දය පාවිච්චි කරපු ,තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරපු හැටි සහ තවත් දේවල් ...හිතේ නියම සොල්දාදුවෙක් ඉන්නවා නම් ...අනන්ත වෙච්ච අඩුපාඩු,වැරදි විධානයන්,වැරදි මෙහෙයුම් සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම් එක්ක ඔයා දකින පැත්තෙන්...පදක්කම් නොලැබුණු නියම සොල්දාදුවොන්ට කරන උපහාරයක් ඒක..මම වැඩිය කියන්න කැමති නැහැ ..එත් ඔයාට හොඳට ලියන්න පුළුවන් ,ඉතින් බලන් ඉන්නවා ...මෙහෙම හරි ලියන ඒක හුඟක් වටිනවා කියල කියන්නත් ඕනි,ඒ වගේ ම ඔයා මම අර කලින් කිව්වා දේ ගැන ලිව්වේ නැහැ කියල කිසිම වෙනසක් වෙන්නේ නැහැ..මම දන්නා විදියට 1992 ඉඳන් දේශපාලකයෝ තරුණ සොල්දාදුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරා ,,ඒකට ඉහලම නිලයන් උදව් කළා ...මොනවා කරන්නද මට මෙව්වා ලියන්න හිතෙන්නේ නැහැ ,තේරෙන්නේ නැහැ කොහොමද පටන්ගන්නේ කියල
    කොහොම උනත් සාර්ථක අනාගතයක් ලැබෙන්න ඕන ඔයාටත් ,එදා ඉඳන්ම ජීවිත වලින් සේවය කරපු හැමෝටමත්..
    (මම මේ යුද්දය දැකපු එක බලලත් නිලධාරියෙක් විතරය්)....

    ReplyDelete
  5. කතාව ඇඟට දැනෙන්න ලියල.මේ සිද්දි කොතෙකුත් වෙන්න ඇතිද?

    වෙනද වගේම සුපිරි ලියවිල්ල..

    ReplyDelete
  6. ජය වේවා...!! එච්චරයි

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..