යැයි අප්පච්චි කියන්නේ මක් නිසාදැයි මම අදටත් දන්නේ නැත..ඉනික්බිති වි වේලා අටුව පුරවයි...ඉතිරි වී විකුණයි ..
යමෙකු විමසුවහොත් මෙවර කණ්නයේ වි වැඩි මිලට විකුණා ලාභ ලැබුවාදැයි ඔහු නියතවම කියන්නේ
"ගිය කන්නයේ සෙතේම තමයි අතකොල්ලෙට දීලා දැම්මා" යනුවෙනි..
කිසි දොසක් නැත අප්පච්චිගේ කුඹුරක් කිසි දිනක පාඩු ලබා නැත...
යමෙකු ඔහු ලෝබයෙකු සේ දකියි...මුත් උපයනා සියල්ල දන්නා දවසේ සිට එක්කලේ අක්කාගේ සහ මගේ ගිනුම් වලටය...
"කෙල්ලව හොඳ දිගෙක දුන්නනම් මම නිදහස්...කොල්ල ගැන බය වෙන්ට දෙයක් නැහැ"
අප්පච්චී අටුව පුරවන්නා සේ අප ගිණුම් පුරවයි ..කාටත් හොරෙන් එදෙස බලයි..සතුටුවෙයි...
ලන්ද ඉපනැල්ල අප්පච්චීට මහ ගෙදරය..දෙපතුල දුටු තැන ඉපනැල්ල නැවෙයි..එය බොහෝ ගොරහැඩිය...අත්ල කොතරම් ගොරහැඩිද? කුඩා කල මම අප්පච්චිගේ අත්ල ස්පර්ශ කර යලිත් මා අත්ල ස්පර්ශ කරයි ..එය අත්ලකට වඩා කළුගලකට සමාන ය.
මූකලාන හේනක් වන්නේ බලා ඉඳිද්දීමය..
"උඔලගේ මහ එකා හරි අත්ගුණ කාරයා" යි ගැමියන් නිතරම කියනවා මා අසා තිබේ..සැබවකි ඔහු කල කිසිම කාර්‍යයක් අඩපණ නැත...නියතවම ඵල දරයි...
ගමේ මළ ගෙයක් ,දානයක්,මඟුලක් ඔහු වරද්දන්නේ නැත..එවන් අවස්ථාවල ගැමියන් පළමුව සොයා එන්නේ අප්පච්චීවය...එලෙස එන ගැමියන් කිසිදු විටක සනසවන්නේ නැතිව අප්පච්චී පිට කලානම් එය පුදුමයකි..
අප්පච්චී දැන් පනස් හැවිරිදිය..
නිතරම නොකෑවත් ඉඳහිට කන බුලත් විටින් ඔහුගේ දත් කිහිපයක් අවපැහැ වීය..එය හැරුනු කොට වැහැරුනු ලක්ෂන ඔහු කෙරෙහි නැත..තවම උදැල්ල හුරුය...නැතහොත් උදැල්ල අප්පච්චීට අවනතය..
පන්සල අප්පච්චීගේ දෙවන නිවහනයි..බුදුන් වැඳීම නිතරම නොකලත් අප්පච්චී පන්සලේ කාලය ගත කරයි..ඉඳ හිට බුදු බණද,බණ කවිද කියයි,තවත් විටක දර්මය විචාරය කරයි,දෙවියන් පිලිබඳ තිබෙන්නේ දැඩි ලෙන්ගතු බවකි..අයියනායක දෙයියන් බුදුන් තනතුරේ තබා උපස්ථාන කරයි..තෙල් මල් පුදයි,
අනෝරා වැහි අප්පච්චීට හිතට සහනයකි..තාවුල්ල දෙස බලාගෙන වැහි දින වලදී ඹහු සිටින්නේ හිසට හබරළ කොළයක් හෝ කෙහෙල් කොළයක්වත් නැතිවය..අප්පච්චී එදෙස බලා සිටීමෙන් අපිරිමිත චිත්ත ප්‍රීතියක් ලබයි නිරාමිස සුවයක් ලබයි...අප්පච්චී ජීවිතය විඳින්නෙකැයි විටක මට සිතේ...
නියං කාලයක් ලැබීය. මුත් අප්පච්චිගේ එකදු කුඹුරක් හෝ පාළු වී හෝ විනාශ වී නැත..වඩා හොඳින් කුඹුරු වැඩී තිබේ..
නියං කාලයේ අක්කාගේ හිත ප්‍රේමය වපුරා තිබිනි..ප්‍රේමයෙන් අක්කා මං මුලාවී සිටියේ යැයි විටක මට සිතුනි..නියං සමය අවසන් විමටත් මත්තෙන් අක්කා ප්‍රේමය සොයා කැදැල්ල හැරදා ගොස් තිබුනි..
අප්පච්චී කෝප වු බවක් හෝ වික්ශිප්ත වූ බවක් මට දැනුනේ නැත...අක්කා ගැන අප්පච්චිගෙන් විමසු ගැමියෙකුට අප්පච්චි කීවේ
"දැන් කෙලීගේ කල වයස හරි නොවෑ පෙළවහක් කරගත්තට මගේ අමනාපයක් නැහැ " කියාය..
මුත් අප්පච්චි අසීමිතව එම සිද්දියෙන් විඳවනා බව මා දැනගත්තේ අක්කා විසින් ගෙවත්තේ පැළකර තබුනු මනාව වැඩුනු පීදින්නට දින ගනිමින් තිබුනු රත් කෙසෙල් පඳුර සුනුවිසුනු වන්නට කැතිගා තිබෙනු දැකීමෙන් පසුවය...
අප්පච්චි දින කිහිපයකට පසුව ගමේ පුලන්නන් කිහිපදෙනෙකු කැඳවා අටුවේ ලූ වී විශාල ප්‍රමානයක් බෙදා දුන්නේ
"දැන් මේව කන්න එකෙක් අඩුයි නොවැ" කියමිනි...
අක්කා ගැබ් ගෙන තිබෙන බව අප්පච්චී දැනගත්තේ කන්දේ ගෙදර සෝමා නැන්දා මගිනි..මා පසුව දැනගත් පරිදි අප්පච්චී අක්කාට නොකියන පොරොන්දුව මත සෝමා නැන්දා යවනා මෙන් කලමනා විශාල ප්‍රමාණයක් අක්කාට යවා තිබිනි..
අක්කා පුතෙකු වැදු බව අප්පච්චී දැනගත්තේද සෝමා නැන්දාගේ මාර්ගයෙනි...අප්පච්චී එවෙලම මරක්කලයෙක් සොයා ගොස් අප්පච්චිගේ මුත්තෙකුගෙන් තෑගි ලැබුනු රන් කාසියක් මකවා මාලයක් සදවා පුතුට යවා තිබුනි...
මුත් කවරදාකවත් අප්පච්චි මුනුබුරා දැකිමට ගියේ නැත..ගම්මුන්ට තිබෙන බිය හා ලැජ්ජාව නිසා අක්කා ගම් තුලානට පැමිනියේද නැත..
ඉඩෝරයකට අහස අරඅදින බව දැන දැනත් අප්පච්චී කුඹුරු වැඩ වෙනදාටත් වඩා උනන්දුවෙන් කලේ උදව්වට පැමිනි ගම්මුන්ට "දැන් මේවා පරිභෝජනය කරන්න තවත් එකෙක් ඉන්නවා "යි කියමිනි...
අප්පච්චී වෙනදා නැති උද්දාමයකින් අටුව පුරවනු ලැබිනි...
."කොළු පැටියෙක් නිසා හොඳට කන්න බොන්න තියෙන්න එපැයි" අප්පච්චි එසේ ගම්මුන්ට කියනවා මා අසා තිබිනි...
අප්පච්චී මෙතරම්ම රාජකාරී අතර විටින් විට වැට කඩුල්ල බලයි...මුත් ඉන් බෝහෝ දුරක හිත ගොස් තිබේ...වැට කඩුල්ලේ රැඳුනු දැස දිලිහෙයි..එම දෑස නියතවම මුනුඹුරා හුරතල් කරනවා විය යුතුය..පසුව කවරදාකවත් නොදුටු කඳුළු අප්පච්චිගේ නෙත තෙත් කරයි.....
අප්පච්චීට යාන්තමින් හෝ වැටහුනොත් මා අප්පච්චිගේ වෙනස දුටුවා යැයි ඔහු නිතරම කියන්නේ
"මේ වැහි කෝඩේ කවදා එයිද මන්දා කුඹුරුනම් මෙදා පොටේ පාළු වෙන හැඩයි..වැවත් හොඳටෝම හිඳිලා..ඉක්මනින් මේ වැහි කෝඩේ මේ දිහාට සේන්දු උනොත් හොඳයි" කියා ය..
මමද පතන්නේ එයමය අප්පච්චිගේ හද කුඹුරට දියවර ගෙන මුනුඹුරාට වඩින්නට කියා ය.