Friday, 20 January 2012

ගිණි කඳු..





ඉර සෑම දිනකම හැන්දැව අරගෙන එන්නේ අම්මාගේ පිරිත් හඬ සමඟය..එය ලයාන්විතය,සවන සැහැල්ලුවෙන් පිරිමදියි..පිරිත් හඬ කටු මැටි නිවස වටාද ඉනික්බිති කඩුල්ල පැන වෙල් දෙනියටද දුවයි..ඉද්ද  ගස ඊටම සැරසී සැම සවසකම නෙලන්නට මල් උදෑසන පුබුදුවයි...පොල්තෙල් සුවඳට සඳුන් දුම මුසුවූවිට නිවස පන්සලක සිරි ගති...පන්සල් සුවඳ ගනී..අම්මා කියු නැලවිලි ගී සිහි කැන්දමින් බොහෝ රාත්‍රී වලට නින්ද කැන්දන්නේද එහෙව් පිරිතය.



"මොන කංකරච්චලයක්ද...හැමදාම හය වෙන්න නැහැ පටන්ගන්නවා..ඔය කියන දෙයක් අනිත් අයට කරදරයක් නොවෙන්න කියන්න"....


අක්කා නිවසේ අදිපත තම අතට ගැනීමට පළමු වෙඩි මුරය තැබීය.


විද්‍යාපීඨ අධ්‍යාපනය නිමවා අක්කා ගමට පැමිණියේ පළමු පත්විම උපන් ගමටම ගෙන පැමිනීමේ වාසනාවද සමඟය..මුත් අක්කාගේ උගත් බව උද්දච්ච බවක් වී තිබුනි..


ලොකු දුවේ මං මේ පිරිත් ටිකක් කිව්වේ උඔලැම යහපතට නොවැ....අම්මා එසේ කීවේ දෑස් කුඩාකරමින් බොහෝ හැඟුම් බරවය..


මට පාඩම් කරන්න තියනවා..දවස තිස්සෙම ඉස්කෝලේ ළමයින්ගේ කං කරච්චලේ..ගෙදර මේ සමයං...


අම්මාගේ දැස කඳුලින් තෙත් විනි..


අම්මාගේ දෑසේ මෙතරම් ලොකු කඳුළු කැට මින් පෙර මා දැක නොතිබිණි


"පාහර බැල්ලි" මා ජීවිතයේ පළමුවර අක්කාට එරෙහිව නැගි සිටියෙමි...


'"මද්දු කට වහපං"


අම්මා දැඩි ස්වරයෙන් එසේ කීවේ මා හා අමනාපයෙන් නොව මා අක්කා හා ගැටීම වලක්වනු පිණිස බව මා දනිමි..


මා නිහඬවීමි.


එදිනෙන් පසු අම්මාගේ පිරිත් ස්වරය සිහින් කෙඳිරුමක් විය..එය දෙතොල් හරහා පිටත වා තලය වෙනදා තරම් මටසිලිටුවට ස්පර්ශ කලේ නැත.


අම්මාගේ පිරිත් ස්වරය සිහින් ඉකිබිඳුමක් කල අක්කාට මා හදවතින්ම ශාප කලෙමි.


"අක්කා මාරුවක් හදාගන්නට යන විත්තිය මා දැන ගත්තේ ග්‍රාමසේවක මාමාගේ මාර්ගයෙනි...අවම පහසුකම් තිබෙන පාසලක් බැවින් වෙනත් පාසලක් ඉල්ලා අක්කා අයදුම්පත් යොමුකොට තිබිණි.


අම්මා මේ බැව් දැන පුදුම වූයේ නැත..කෙල්ල දැන උගත් එකී ..අපිට වගේ නෙමෙයි අක්කට යමක් කමක් වැටහෙනවා.


අම්මා එසේ කීවේ හිත සාදාගැණිමටම බව මම දණිමි.


කාශ්ඨක පොලවේ ලද ජීවිත පණ්නරය හමුවේ අම්මා මෙවන් දේට නොසැලී සිටිම පුදුමයක් නොවේ..


ඔන්න ඔහේ ගියාවේ...මා මටම කියා ගතිමි.


මාස කිහිපයකට පසු අක්කා නව පත්වීම ලැබ ගම අතැර ගියා ය.


පිරිත් හඬ නැවත ගේ පුරා දෝංකාර දුනි...කලකට පසු වැසි වැස්සා සේ හිත පිරි ඉතිරී ගියේ දැඩි සතුටකිනි..


අනේ ලොක්කිට මම මේ සෙත් පතනවා...අම්මා කියන්නේ නැවතත් දෑස් තුල කඳුළු පුරවමිනි..


මට අම්මගේ හිත තේරුම් ගන්න බැහැ..මම මටම කියාගතිමි...


දුරුත්ත නිමවෙන්නටත් මත්තෙන් අක්කාගෙන් ලිපියක් විය...අක්ක කසාද බඳින්න යනවලු. අම්මා එසේ කීවේ දැඩි ශෝකයකින් නොවේ...


මෙච්චර ඉක්මනට.....


මා විමුසුවේ අම්මාටත් වඩා ශෝකයෙනි...


මෙච්චර ඉක්මනට ....අක්කා මොකක්ද මේ කරන්න හදන්නේ..අපිට රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්න බැරි කරලා තමයි මේකි පස්ස බලන්නේ .....


අපිට එන්න කියලා නැතෙයි......


අම්මා විමසන්නේ එතරම්ම උවමනාවකින් නොවේ..


නැහැ බඳින විත්තියක් විතරයි තියෙන්නේ...දිනයක් එහෙම නැහැ..අපේ මොකෝ කැමති දෙයක් කරගත්තාවේ..


මා එසේ කීවේ අම්මා සනසවන්නටය.


හ්ම්...අම්මා ඉන් ඉදිරියට කිසිවක් කීවේ නැත.


මේවා ගම්මු දැනගත්තු දවසට අපි පාරෙ බැහැලා ඉවරයි.....
_______________________________________________


දිනෙන් දින ගෙවිණ......දුරුත්ත නිමාවූයෙන් අක්කා මේ මස බඳීවීයි හිත කිය..


අක්කා කරනා දෙයින් ගමට පාසලට මුහුන දෙන්නට නොහැකිවන්නේ මටය..මා හදවතින්ම අක්කාට ශාප කලෙමි...


දිනක් උදැසන නිවස ඉදිරිපිට නැවැත්වූ කුලි රථය දැක අම්මාත් මමත් වික්ෂිප්ත වූයෙමි.


අම්මා සිටියේ පොල්ලතු වියමිනි...මා සිටියේ ඊට තරමක් නුදුරිනි..


අක්කා මඟුල් ඇඳුම පිටින්ම කුලී රියෙන් බැස නිවෙස තුලට දිවගියේ "අර කාලකන්නියා මාව රැවැට්ටුවා..අද වෙන එකියක් එක්ක පැනලා ගිහින් කියමිනි.."


මමද අම්මාද කුමක් කල යුතුදැයි මුහුනට මුහුන බැලීමි..අම්මා ගනනකට නොගෙන යලිත් පොල් අත්ත වියන්නට විය...


පොල්අත්ත පසෙක තැබූ අම්මා නිවස තුලට පිය මැන්නේ දැඩි කලකිරීමකිනි....


ලොක්කියේ අර කොල්ලට යන කලදසාවක් තියෙන් ඹ්නේ...කොල්ලා කොහොමද පාරෙ බැහැලා යන්නේ ..පිං සිද්දවෙයි අර ගියා වගේ කොහේ හරි  පල....උඔට ලැජ්ජාවක් නැති උනාට අපිට තියනවා..කාලකන්නි බැල්ලි....අපේ මූනේ තෝ දැලි ගෑවා..


අම්මා මෙතරම් දරුනු ලෙස හැසිරෙනු මා දුටු පළමු අවස්ථාව මෙයයි ..කවරදාකවත් නුදුටු ගිනි ජාලාවක් අම්මාගේ දෑසේ මැවි තිබිණි..


කැත්තගෙන මිදුලට පැමිනි අම්මා මායිමේ තිබුනු  එරමිනියා පඳුර සුනුවිසුණු කලේ"පොළවේ සාරෙ උරාගෙන මෙව්වනම් යසට හැදෙනවා" කියමිනි.


අක්කා නිවසින් නික්මිනි...කඩුල්ල පනින්නට ඔන්න මෙන්න තබා නැවත අම්මා අක්කා අමතා...


"ලොක්කි ගෙට පල...උඔට ඹ්නේ විදිහට නටන්න හදනවා නෙමෙයි..."


අක්කා නැවත නිවස තුලට පියමැන්නේ බිම බලාගත්වනමය...


පසුව සෑම සවසකම පිරිත් ස්වරය වෙල් දෙනිය හරහා වැව් දිය පිරිත් කලේ කවදාකවත් නැති ශාන්ත බවකිනි.

Sunday, 15 January 2012

මඟහැරුනු කඳුළ.........


.
අඬන්නටේ කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත...අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..."අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන...

මොනා කරලද මෙදා පාර..

වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...

උසාවි දාලා තියෙන්නේ කවදටද?

මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...

පව්......මා එසේ කිවා නොවේ කියවිණි...

අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ..පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ..සෝමෙ අක්කට දිලා රුපියල් පන්සියක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා...මල්ලිව බලා ගනින්..

කරුනේ මාමා තාත්තව එළියට ගනිවි..මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...

මා කටින් නොකිව යුතු යමක් කියවිණි..

මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම...දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...

හ්ම්.....

මා කිසිවක් කියන්නට ගියේ නැත..

මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි...කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා...තූ නොදෝකින් පාහර හැත්ත...

මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මද සිනාවකිනි...

හ්ම්..නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....

අහිංසකයා...මා මල්ලි ගැන දුක් වුනෙමි..

තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් උවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමි...හේතුව ලැජ්ජාව විය යුතුය..අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්‍රශ්ණ කලෙමි...

මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය...කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි...පසුව දර මිටිද..සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි..පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි....පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි..මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය..හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි...හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබු පසුවය..

තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි..එයද කුකුල් නින්දකි..වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි...පොලීසිය ,.උසාවිය..මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත..එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි..සියළු නිළධාරීන් හොඳින් හඳුනයි...මුත් කිසිදු පිළිගැණීමක් නැත...

තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත..හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...

තාත්තා බේබද්දෙකු නොවේ..නමුත් නොබොන්නෙකුද නොවේ..අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත..ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..

මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි...තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි..අන් සියල්ල අප වෙනුවෙන්මය.අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය..කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත..අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ..කැමට යමක් වැරදුනේ නැත..කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..

අම්මා නැවත පැමිනියේ  රුපියල් පන්සියයක්ද අතැතිවය...

අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?

මොකද උඔ දෙන්නද?

නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?

ඔය බොලගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක..උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ ..අම්මා හූල්ලයි..

කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..

විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...

නෑ මුකුත් නැහැ...අම්මා යන්න පරක්කු වෙයි....

මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....

අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.

අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්‍රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි..රුපියල් විසි හය දහසක් එහි විය...

තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපැස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා...පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්....මේ අපේ තාත්තා..අපිට වෙන කවුරුවත් නැහැ..තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..

රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි ..හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය...සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි...අම්මා ගෙදර පැමින නැත...මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..

හතර පසුවිය...අම්මා හෝ තාත්තා තවම නැත..හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...

හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....

කෝ අම්මේ තාත්තා...

අම්මාගෙන් පිළිතුරක් නැත...

කෝ අම්මේ අපේ තාත්තා.....මම කෑ ගැසීමි.....

උඔලෑ තාත්තා එන්නෑ පුතේ....අම්මා මට පුතේ කී පළමුවර එයයි..

මොකක්ද වෙලා තියෙන්නේ...කියන්න....මම බැගෑපත් වුනෙමි...

කිසිවෙකු කිසිවක් නොකියයි......

කියපිය යකෝ තාත්තට මොකද උනේ..

පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...

මා සිහි විකල් විය..

පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..මම මහ හඬින් කෑ ගැසිමි..

උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා...තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා..අපි දෙයියෙක්ව මරාගත්තා...අම්මා මොර දෙයි..
අපි උඔලගේ තාත්තව තනි කලා....තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා...ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ...ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා...උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා....මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය...උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා...අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ ..එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....

පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..

මා බයිසිකලයේ පැටලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය. ..
 

Friday, 13 January 2012

තුරු එනතුරු.....








සරත් සමයේ වැටුනු තුරු පත්

සොයනවා සුළඟක්...

යලිත් එසවී මදක් ඉහළට

වසන්තය එන මං බලන්නට.....




නැතේ අනුකම්පාවක් සුළගත්

හමා යයි වෙනතක......

නැහැ වසන්තය මෙදා පාරත්

අරන්විත් ඉක්මන් වැස්සක්....




පේන නොපෙනෙන තරම් දුරකින්

මල් පිපී දුලනා අකලට......කොහොම ඉවසමි

මට නොමැති කල වසන්තය නැවතත්

පොළව සිපගමි දිරා යන්නට ගසට වි පොහොරක්.......

කුස වුණු පබාවතී...





මං ජයම්පතී නොවේ

මුත්

ඔහු කුස රජු උනාවේ.....



පබාවතිය නුඔ
ගනු බොහෝ වැඩ රාජකාරි....



මං බලන් ඉන්නම්

සත් වස නිමවෙනා තෙක්


ගෙවදිමු....



කුලී මාළිගාවට......



නුඔ කුස නොවී සිටියොතින්

කුස රජ්ජුරුවන්ට දාව......



ඇඹිල්ල ඇටයකුත් වදාවි

මහ විසාල වෘක්ෂයක්.....
..........................................................................
ප.ලි

අජාසත්තම වදාපන්

මරන්නට පිය රජ...
.

බෝ මෙලෙසට.......



 
බෝ පතක් සැලී
නැහැ වැටුණි බිම....

රැකගතිමි

දෑත් අතර වෙයි තවම නැවුම් එය...

පෑගිච්ච
 මුල් දිහා
නැත හෙළා තවම නෙත්......

මුත්
 සතුටකී හිතට
බෝ කොළය දෑත් මත.... 

Wednesday, 11 January 2012

සබඳ අපි පතොක් වෙමු..!!





..
පතොක්  හටගනුයේ නිස්සාර භූමියේය..කාෂ්ඨක කතරේය...පතොක් හී අපූර්ව දයාබර පෙනුමක් නැත...හැඩ ගැසි තිබෙන්නේ සැඩ හිරුට පෙම් බඳින්නටම ය...

පතොක් ගස කුමන හෝ සැපතක් පතන්නේ නැත...ලබන්නේද නැත...ඉල්ලන්නේද නැත..ලැබෙනා දේ විඳියි...අහස කතරට වැහි දිය එක් කරයිනම් පතොක දිය බිඳක් බි ගනී..ඉනික්බිති කලාතුරකින් ලත් දිය තමා තුල පැළ පදියම් කර ගනි..එය ජීවිත කාලයකට ප්‍රයෝජනයට ගනී...නොවැස්සා කියා අහසට දෙස් නොතියයි...


පතොක් ගස බොහෝ දුක සේ වැඩෙයි...හිරුට දොස් කියන්නේද නැත...කලකදී බොහෝ සුන්දර මලක් හෝ කිහිපයක් දරයි....විඳි දුක පෙන්වන්නටදෝ බොහෝ කටු රඳයි...කටු අග විශද එක් කොට ගනී.බොහෝ වෙහෙස ගෙන පිපිදවූ මල සුරකියි....නෙලන්නට එනවුන් වනසයි.....


සබඳ අප පතොක් වෙමු...විඳි දුකට ශාප නොකරමු...!! දරමු මල් ....එලෙසම රැක ගනිමු..!! සබඳ කුමට  තවත් අනුකාරක...මේ ජීවිතයට පතොක් ගස හැර...!!