Sunday 6 November 2011

නියඟලා..07 කොටස..


මට මුලු ලොවක් ලද්දාක් මෙන් විය..අද දින බොහෝ සොඳුරු යැයි මට සිතින.....


බුදු සරණයි
දයාබර මගේම අරවින්ද අයියාට

මගේ අයියේ දළඳා හාමුදුරුවන්ගේ පිහිටින් අයියා සුවෙන් වෙතැයි සිතමි..ඉතින් අයියේ මම මේ ලියුම ලීවේ අයියා ගිහින් ටික වෙලාවකට පසුවයි..අපි දෙන්නා ගෙවූ ජීවිතය හමුවේ තනියම විසිමේ ඉතා කටුක මෙන්ම දුශ්කර කාර්‍යය මට පැවරී තිබේ..එම හැඟීම් එලෙසම අයියාටත් දැනෙන බැව් මා දනිමි..සුදු අයියේ නැන්දාත් මාමාත් බැලූ අත බැලූ ගමන්මය...අපේ  මාමා විටින් විට බන්ඩාරේ මෙහෙ වරෙන් යැයි කෑගසනවා දෙතුන් වරක්ම මට ඇසිනි..දරු සෙනෙහස එහෙමමය..
                          මා සිත අරවින්ද අයියා සොයන තරම් අයියාට දැනෙනවායැයි මට සිතේ..කුමන කටයුත්තක් කෙලෙස කරන්නට ගියත් අයියා මතක් වී නෙතට කඳුලු උනන වාර අනන්තය..සුදු අයියේ මේ මස ගෙවී ලබන මස ලබන තෙක් මා නොඉවසිල්ලෙන් පසුවෙමි..මගේ සුදු අයියාගේ මුහුන දකින්නට දින ගනින්න වේ යැයි මා බිඳ කුදු මොහොතකටවත් සිතුවේ නැත දැන් එම අපහසු කටයුත්ත මා කරමින් සිටිමි..අදින් පටන්ගන්නා බෝධිපූජාවක් නැන්දා සූදානම් කර තිබෙන බවක් නැන්දා කීය....සුදු අයියාට සතර වරම් පිහිට නොඅඩුව ලැබේ..දෙව් රැකවරන දළඳා හිමි වැඩසිටින බිම අපට උපතින්ම උරුමය..එම බලයෙන් මගේ අයියාට නිරතුරුව රැකවරන  ලැබෙනු ඇත..මගේ අයියේ මම හැම වෙලාවකම අයියට ලියන්නම් මගේ මහත්තයාටත් පුළුවන් වෙලාවක් තිබුනොත් අකුරු දෙක තුනක් ලියලා එවන්න..නැන්දත් නිතරම අයියවම මතක් කරනවා..අප්පච්ච්ත් අම්මත් හවස බොධිපූජාවට යනවා කීවා..අම්මා කීවා ලපන සතියේ දිහාවට උඩුදුම්බර තැපැල් කාර්‍යාලයට ගිහින් අයියට කතා කරන්ටේ කියලා..අපේ හාමුදුරුවන් ලඟ අයියා නැවතිලා ඉන්න තැන ටැලි ෆෝන් නොම්බරේ තියෙයි කීවා..මම අද හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ලබන සතියේ දිහෑට අයියට කතා කරන්නම්..අප්පච්චිත් ඉරිඟු කපලා ඉවර නිසා තව ටික දොහකින් ටවුම දිහෑ යාවි..මමත් නොවැරදීම එදාට අයියට කතා කරන්නම්..
                                      මම අදට නවතින්නම්
                                     මම අයියගේම
                                                 මලිති.

හිත බොහෝ පිරී තිබේ .එතරම්ම බොළඳ වූ මලිතිගේ හිතේ මෙතරම් ගැ‌ඹුරක් මින් පෙර මා දැක නැත...

ඔහ් අරවින්ද අද උදේම හැපි මූඩ් එකක

කුමාර් එලාස කීවේ උපහාසාත්මක සිනහවක්ද එක් කරමිනි...

නෑ අපේ ගමෙන් ලියුමක් ඇවිත් නොවැ..

මේ දවස් තුන හතරට ලියුමක්...හ හ හා අරවින්දගේ ගැමි කුමිරිගෙන් වෙන්නැති...

කුමාර් සිනාසෙන විට මටද සියුම් ලැජ්ජාවක් විය.

එහෙම නේද ?

කුමාර්ගෙන් ගැළවීමක් නැත

හ්ම් ...මම සෙමෙන් හිස සැලීමි..

ඔහු ඔනෑවටත් වඩා අනුන්ගේ දෑ සොයතැයි මට සිතුනි..

මා ඉන් පසුව ඔහු විමසූ වදන් වලට පිළිතුරු දුන්නේ කිසිදු සැලකිල්ලක් නොදක්වමය...
__________________________________________
09
නාගරික රළු බවට මා කලින්ම හුරු වී තිබේ..ක්ලෝරින් මුසු දිය හිස තෙමද්දී වෙනදා තරම් අපහසුවක් දැනුනේ නැත..සැන්දෑවද වෙනදාට වඩා පියකරු බවක් ඉසිලීය

කාමරය හා කාර්‍යාලය යන දෙතැනට කොටුවී සිටි මා හට මද විවේකයක් උවමනා විය.එහෙයින් මදක් ඇවිදින්නැයි සිතා වෙනුර මහතාගේ මිදුලෙහි වූ තණ බිස්ස මතට ගියෙමි...

එය මෘඳුය එම මෘදුබව දෙපතුලට හොඳින් දැනේ...

අරවින්ද අද කලින්ම ඇවිත්....

න් න් නෑ වෙනදා වෙලාවටමයි...අද ටිකක් එළියට එන්ටේ කියලා හිතුනා..

කෝ අද අරවින්දගේ උපදේශකයා නැද්ද?

නිලූශි විමසන්නේ සුමනදාස මාමා ගැනය..

න් නෑ අද තාම දැක්කේ නැහැ..මමද සිනාසීම නිලූශිට පිළිතුරු දුනිමි..

අරව්න්දට නිතරම ගම මතක් වෙනවා නේඳ?

ඔව් යැයි කීමය මම හිස සැලීමි..

මැඩම් කොහේද?

අරවින්ද......ඇය මගේ නම කීවේ තරමක කෝපයෙනි..

ස් ස්ස් සොරි ...න් න් නිලූශි....ඇගේ කොපය අමතක වන්නට මම තරමක් හඬින් සිනා සීමි...

නිලූශි කොහේද? කොළඹමද?

හ්ම් ඔව් ..මම දෙහිවල..බොරලැස්ගමුව කිට්ටුව...අරවින්ද දන්නවද  බොරලැස්ගමුව හරිය....

නෑ නිලූශි මම තාම මෙහෙට අළුත් නොවැ..

අරවින්දගේ ගම් පලාතේ ෆෝන් පිවිච්චි කරන්නැද්ද?

නෑ ..තාම අර කුළුනු සවි කරලා ඉවර නැහැනේ ..අපිට කාට හරි කතා කරන්න උවමනා උනහම අපි උඩු දුමුබර තැපැල් කන්තෝරුවට යනවා..

අනේ පව්...

ඇය එසේ කීවාට වඩා කියවුනා යැයි මට සිතින...

මමත් ඔය ගැමි කමට කැමතියි අරවින්ද...හරි නිදහස් සරල විදිහට ජීවත් වෙන්න තිබුනා...මේ කරදරකාර වටපිටාවේ අපි හිරවෙලා...

ඇයි අපේ වෙනුර මහත්තයාත් අනුරාධපුරේ නේද? එහෙ පදිංචි උනානම් හරිනේ....

මේ අපේ වෙනුර එක්ක අනුරාධ පුරේ....එයා කැමති නැහැ අරවින්ද වැඩිය ගමේ යන්න .කියන්නේ ගමේ ගියොත් හැමදාම රණ්ඩුලු....දන්නැද්ද ඔය ඉඩම්වලට ගම්බද පලාත්වල හැමදාම රණ්ඩුනේ....

හ්ම්.....මමද ඇයට එකඟ උනෙමි..

මම කැමතියි අරවින්ද අර මහ ලොකූ වැවක් ලඟ හැන්දෑවක බලාන ඉන්න...

ඇය කථා කරන්නේ දෑස් විසල් කරමිනි...

මම හිතුවේ නිලුශි ගම්බද ජීවිතයට කැමති නැහැ කියලා..

අනේ නැහැ අරවින්ද මම හරී කැමතියි..මම කැමතියි නිදහසේ ඉන්න..මම දන්නවා අර මිනිහා අරවින්දට මම ගැන එක එක දේවල් කියන්නෑති කියලා..නමුත් අරවින්ද මම ටිකක් හරි නපුරු උනේ නැත්නම් ඔය මිනිස්සු මේ හැමදේම නැති කරලා..දන්නවනේ වෙනුරත් මේ දේවල් වලට කිසිම උනන්දුවක් නැහැනේ..

නිලූශි කතා කරන්නේ තරමක කෝපයෙනි..එම කෝපය සාධාරණයැයි මටද සිතේ...

මාත් යන්නම් අරවින්ද අරවින්ද ටිකක් ඇවිදලා යන්න ..මෙතන හරි සනීපයි සැහැල්ලුයි....

මා නිලූශී පිලිඹඳව සිති සිටි අයුරු නැවත  සම්පූර්ණව නිවැරදි විය යුතුය...ඇය බොහෝ සරළ නිහතමානී කාන්තාවකි...

බොහෝ වේලාවකට පසු කාමරයට වැදුනු මා අත ගැටුනු පන්හිඳෙන් කලකට පසු කවියක් ලීවෙමි...

සුසුදු පිය මත
ලවැලි අරනක
එකින් එක පා
ලකුණු මත්තෙම
හැපි හැපී පිය
ගැට නොහී වද
අරන තනිවය
පුදසුනක් නැත.......

නෙලා නෙක මල්
අමුම අමුනා
තමර පෙති එක
එකින් පුපුදා
ලවැලි තල දිග
අතුර මුත් මල්
හිරුත් අවරට
ගිහින් නුඹ නැත.........

තාරපති දුල
පෑල දිග'හස
මෝදු කරමින්
කලු වලාකුල්
වැස්සකට අර
අදින මුත් සැඩ
ලිහිල් සළු දැරු
නුඹ තවම නැත.......
          
හදිසියේ ලියවුනු කවිය මේසය මත තබා නින්දට ගියේ රාත්‍රී අහරද නොගෙනය....

අරවින්ද මහත්තයෝ...

සුමනදාස මාමාගේ හඬින් මා කලබලයෙන් ඇහැරුනෙමි...

ඇයි මාමේ මේ ...කලබලයක්වත්ද?

නෑ නෑ මහත්තයා අද කෑමට ගියේ නැද්ද කියලා අපේ මහත්තයා ඇහුවා ....ගියේ නැතිනම් යන්න එපා කීවා...මම හිතන්නේ අපේ මහත්තයා අරවින්ද මහත්තයා එක්කලා කෑමට එළියට යන්න මයෙ හිතේ....අරවින්ද මහත්තයෝ මම ඔය මහත්තයාට ලෙන්ගතු හින්දා කියන්නේ එළියට ගියාට කමක්නෑ අපේ මහත්තයගේ අර බේබදු පුරුද්ද එහෙම පුරුදු වෙනවා නෙමෙයි...

සුමනදාස මාමා කීවේ විධානාත්මක ස්වරයෙනි....ඔහු සැබවින්ම මට ලෙන්ගතුයැයි සිතිනි...

එහෙනම් අරවින්ද මහත්තයා ලක ලෑස්ති උනානම් අපේ මහත්තයා බැය භාගෙකින් යන කතාවක් තමයි ඇහුනේ...

1 comment:

  1. ජීවිතය අකුරු කරන ලස්සන..ලෝබයි

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..