Sunday 8 January 2012

තනි සපත්තුව (සින්ඩරෙල්ලා නොවේ)


හිත වෙලාවකට හරිම පුදුමයි...හොයන තරමක් හොයන්නේ..ඉල්ලන තරමක් ඉල්ලන්නේ නොලැබෙන දේවල්...පුංචිම පුංචි කාලෙදි කළුතර ටවුම මැද්දේ මට අරක දෙන්න මේක දෙන්න කිය කිය බිම වාඩිවෙලා කෑ ගගහා මහ හයියෙන් හැඬුවට අනාගතයට එහෙව් පුරුදු මම ගෙනත් නැහැ...කාලයක් පුරුදු වුණා දුක සතුට දෙකම ලැබෙන විදිහට භාරගන්න...තවත් කාලයකදී දුකමත් තවත් කාලයකදී සතුටත්ම ලබන්න පුරුදු වෙච්ච හිතට හුඟාක් සිතුවිලි අළුත් උනේ නැහැ..හිත තෙම්මරාදු වෙලා වෙලාවකට එහෙමත් හිතුනා..


කාලයත් එක්ක මට එයා ව හම්බවෙන්නේ හරිම අහඹු විදිහට.. රැඩිකල් කියලා මුලින්ම හිතුවත් ඊට එහා ගියපු මොකක්දෝ ලස්සන ගැහැනු කමක් එයා ලඟ තිබුනා...මම අසීමිතව එහෙව් දුර්ලබ ගැහැනු කමට ලං වුණා...පහුගිය කාලේ හුඟාක් සුන්දරයි..මේ පාලු කාන්තාරේ පුරාවටම නානාමාදිලියේ මල් පිපිලා තිබුනා..එක එක විදිහේ ගස් හැදෙන්න ගත්තා...දූවිලි පළසට උඩින් අපූරු තණ පළසක් වැටුනා..මමත් හිතුවා මේ වසන්තය කියලා..


මම එහෙම හදිසියේ පැමිනි වසන්තයේ සනීපෙට සැරිසැරුවා...ඉර අහසේ තිබුනට එළිය විතරමයි දුන්නේ සැඩ රස්නේ...උහුලන්න බැරැ උණුහුම කවදාකවත්ම දුන්නේ නැහැ...


අපි කවමදාකවත් හමු වුණේ නැහැ...නමුත් අපි හැමෝටම වැඩිය හිතින් බැඳිලා හිටියා....සමහරු විහිලු කලා ඔන් ලයින් ප්‍රේමයක් පමණයිම කියලා....නමුත් ඔයාලා දන්නවද අපි හුඟාක් දුර ගියා...අවුරුද්දකට කිට්ටු කාලයක් අපි අපේ ලඟමයි හිටියේ..සත්තයි..ලඟ ඉන්නවට වැඩිය අපි බැඳිලා හිටයා..


අපි පහුගිය හැම දවසකම හුඟාක් සතුටින් හිටියා...හැම තත්පරයක්ම අපිට නැවුම් උණා...දවසේ නිදාගන්න පැය කිහිපය හැරුනාම හැම මොහොතෙම එයා මගේ ලඟම හිටියා..රෑ හීනයක් අරන් මගේ ලඟ හිටියනම් එයාම විතරයි....


අපි කතාකරපු තරමට එකට හිටපු තරමට අපිට අපේම කටවහ වැදුනද මන්දා...පහුගිය සතිය හැම වැඩක් එක්කම මට එයාව ටිකක් මඟහැරුනා....


පහුගිය දවස් කිහිපය වෙද්දි එයාටත් කවරදාකවත් නොතිබුනු වැඩ ...ගමන් බිමන්...පංති....මෙකී නොකී දහසකුත් වැඩ...අද වෙද්දී හොයාගන්නවත් නැති තරමට වැඩ....


මම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුනා...ඔන් ලයින් ප්‍රේමයක පරමායුෂ සිග්නල් තියනකල් විතරයි.......


මම සහ මම දෙන්නෙක් කරන්න එයාට පුළුවන් වුනේ බොහෝම කෙටි කාලෙකින්....මගේ එක කොටසක් එයා උණා....


දැන් මම තනි සපත්තුවක් අරන් හැමතැනම  සින්ඩරෙල්ලා හොයනවා.....දන්නවද සමහර විට සින්ඩරෙල්ලා  තනි සපත්තුව අතෑරලා දාලා අළුත් සපත්තු කුට්ටමක් ගන්නෑති...මොකද තනි සපත්තුවේ අගය තියෙන්නේ බොහෝම ටික දෙනාටයිනේ....එහෙම උවමනාව තියෙන්නෙත් එකම එක කකුලක් තියන අබ්බගාතයෙකුට විතරයි ...................

9 comments:

  1. මට මාර අර්ථ ටිකක් ඔලුවට ආවනේ... සිග්නල් තිනකම් කතාව ,, එක නම් සංකිර්ණයි.....

    ReplyDelete
  2. මාත් ඒ කතාවට එකඟ නෑ..ආදරේ ඔන්ලයින්ද නැත්නම් හමුවීමෙන් වෙනවද කියන එක නෙමෙයි වැඩගත්..ඒ දෙන්නගේ හිතේ තියෙන බැඳීම.

    සිග්නල් නැති උන ගමන් හිත් වල බැඳීම නැතිවෙනවනම් කිසිම කෙනෙක් ඔන්ලයින් අඳුරගෙන ආදරේ කරපු කෙනෙක්ගෙන් ඈත් වුනාම අඬා වැටෙන්නේ නෑ..දුක්වෙන්නේ නෑ..

    සමහර වෙලාවට හැබෑවට හමුවෙන අයට වඩා මේ අය ආදරේ කරනවා වෙන්න පුලුවන්..

    ඉස්සර කාලෙත් ලිපි මගින් ආදරේ කරපු අය හිටියා කියලා මම අහලා තියෙනවා..

    සින්ඩරෙල්ලා ගැන කියනවනම්..ඔයා හිතන තරම් ඉක්මනට ගෑනු ලමයෙක්ට එයා අවංකව ආදරේ කරපු කෙනාව අමතක කරන්න බෑ..

    එයා දවසින් දෙකෙන් අලුත් සපත්තු ජොඩුවක් ගත්ත කියලා හිතන එක අසාදාරනයි.

    සමහරවිට එයත් ඔයා ගැන මෙහෙම හිතනවද දන්නේ නෑ..

    කොහොම උනත් ඉක්මනින් එක්වෙන්න ලැබේව කියල පතනවා...

    ආදරේ සුන්දරයි..පුංචි පුංචි හිත් රිදීම්,අමනාප කම් ආවත් අවංක ආදරේ දවසින් දෙකෙන් නැති වෙන්නේ නෑ..

    ReplyDelete
  3. රහස් පරීක්ෂකයට ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ උනාට...ස්තූතියි නැවතත් කමෙන්ට් එකට..

    ReplyDelete
  4. දැන් මම තනි සපත්තුවක් අරන් හැමතැනම සින්ඩරෙල්ලා හොයනවා.....දන්නවද සමහර විට සින්ඩරෙල්ලා තනි සපත්තුව අතෑරලා දාලා අළුත් සපත්තු කුට්ටමක් ගන්නෑති...මොකද තනි සපත්තුවේ අගය තියෙන්නේ බොහෝම ටික දෙනාටයිනේ....එහෙම උවමනාව තියෙන්නෙත් එකම එක කකුලක් තියන අබ්බගාතයෙකුට විතරයි ...................
    පුංචි කුමාරිට උත්තරේ මෙතන තියනවා...

    ReplyDelete
  5. අයියෝ ඒ කියන්නේ එ කෙනා අබ්භගාතයෙක් කියලද..හි හි...එකත් හොඳයි..ඔයාගේ සපත්තුව එයාට දාන්න පුලුවන් තනි කකුලනේ එයාට තියෙන්නේ..

    ReplyDelete
  6. //මම හැමදාම විශ්වාස කරපු දෙයක් තිබුනා...ඔන් ලයින් ප්‍රේමයක පරමායුෂ සිග්නල් තියනකල් විතරයි.......//

    හී...හී...මේක නම් සම්පුර්න ඇත්ත කතාවක්. ඉක්මනට ෆෝන් නම්බර් එකත් ඉල්ලලා තියාගත්තා නම් හරි. හැබැයි ඉතින් ඒකත් ඕනිම වෙලාවක ඕෆ් කරලා දාන්ට පුලුවන් බව අමතක කරන්ට හොඳ නෑ.

    ReplyDelete
  7. ස්තූතියි පොඩ්ඩි....මගේ බ්ලොගට ගොඩ උණාට...

    ReplyDelete
  8. මේච්චර ලස්සන හැමදෙයක්ම අමතක කරලා දාපු එක ගැන පුදුම හිතෙනවා.

    ReplyDelete

බලලා නිකන් යන්නේ නැතුව මොනා හරි කියලා යන්න..